ආසියාවේ ජාමයත්, ඉරානයේ ගෝලයත් රකින්නා

2585
b.fssta.com

පාපන්දු ක්‍රීඩාවේ දැවැන්තයන්ගෙන් බහුතරයක් යුරෝපා සහ ලතින් ඇමරිකානු රාජ්‍යයන් නියෝජනය කරන්නන් ය. පාපන්දු ලෝකය තුළ ආසියාවේ නම බොහෝ දුරට රකින්නේ ජපානය සහ දකුණු කොරියාව වුවත්, ලෝක තලයට අලුතෙන්ම පුවත් මවන අලිරීසා බෙරාන්වාන්ඩ් ඉරාන ජාතිකයෙකි.

2019 ආසියානු පාපන්දු කුසලාන තරගාවලියේ දී ඔහු දැක්වූ විශේෂ දස්කම් කිහිපයක් නිසා ප්‍රවෘත්ති වෙබ් අඩවි සහ සමාජ ජාලා ක්‍රියාකාරී වී ඇත. වත්මන් දස්කම් ගැන ලියා තබන්නට ප්‍රථමයෙන්, මේ අලුත්ම පාපන්දු පුවත් මවන්නාගේ මුල් දස්කම් සහ අතීතය ගැන ඔබට කියන්නට සිතමි.

ඔහු ගැන මුල්ම පුවත මැවුණේ 2018 පාපන්දු ලෝක කුසලානයේදීයි. තරගාවලියේ දෙවැනි දිනයේ දී පැවති ඉරාන – පෘතුගාල තරගයේ 53 වැනි මිනිත්තුවේ දී පෘතුගාලයට දඬුවම් පහරක් ලැබුණි. පන්දුව දඬුවම් සීමාවේ ස්ථානගත කෙරිණි. ප්‍රහාරයට ඉදිරියට පැමිණියේ එසේ මෙසේ ක්‍රීඩකයෙකු නොව, දැනට ලොව සිටින දක්ෂතම පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනාගෙන් කෙනෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ය.

අලිරීසා ඉරාන ගෝලය ඉදිරියේ සිටගෙන සිටියේය. මෙය ලොව ජනප්‍රියතම ක්‍රීඩාවේ ලෝක කුසලානයයි. ඔහු ඉදිරියේ සිටින්නේ ලොව ජනප්‍රියම පාපන්දු ක්‍රීඩකයායි. ඒ වන විට ලොවින් හරි අඩක්ම හෝ ඊටත් වැඩි පිරිසක් බලා සිටියේ අලිරීසා සහ රොනාල්ඩෝ අතර සිදුවන ගනුදෙනුව ගැනයි.

img.rasset.ie -ඔහු එක රැයින් වීරයෙකු විය

රොනාල්ඩෝ ඉදිරියට පැමිණියේය. දඬුවම් පහර එල්ල කළේය. රොනාල්ඩෝ තමන්ගේ වම්පස ඉලක්ක කළ බව වටහාගත් අලිරීසා වහා එදෙසට පැන පන්දුව නවතාගත්තේය. ඔහු එක රැයින් වීරයෙකු විය. පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තුළ ඔහු තවත් මනරම් පාවීම් කිහිපයක් සිදු කිරීමත් සමඟ පාපන්දුලෝලීන් අලිරීසා ගැන සොයන්නට විය.

ඔහුගේ ආරම්භය එතරම් නිස්කාංසුවේ සිදු කළ ආරම්භයක් නොවේ. පාපන්දු උන්මාදය ඉහටම වැදී තිබූ අලිරීසා වයස අවුරුදු 12 දී ගම හැරදා ඉරානයේ ටෙහෙරාන් නගරය වෙත ගමන් කළේ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු වීමේ සිහිනය පෙරදැරිවයි. එසේ ගමන් කරමින් සිටි බස්රථයක දී ඔහුට ඔහුගේ පළමු පාපන්දු පුහුණුකරුවා හමුවිය. ඇතැම් දිනවල ඔහුට පාපන්දු සමාජයේ දොරකඩ වැටී නිදාගන්නට සිදුවිය.

“මම උදේ නැගිටිනකොට මිනිස්සු මා වෙනුවෙන් බිම දමා තිබුණු කාසි මම දැකගත්තා. ඔවුන් හිතලා තියෙන්නේ මම හිඟන්නෙක් කියලා. ම්… කාලෙකින් පස්සේ එදා මම උදේ කෑම හොඳට කෑවා.” ඔහු සිනාසෙයි.

පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස ඉක්මන් දියුණුවක් ලබාගත නොහැකි වූ නිසා ඔහුට ඇඳුම් මසන්නෙකු, මෝටර් රථ සෝදන්නෙකු සහ පීසා බෙදාහරින්නෙකු ලෙස ද රැකියාවන් කරන්නට සිදුවිය.

එතැන් සිට දක්ෂ ගෝල රකින්නෙකු වන තෙක් කැපවීමෙන් පුහුණු වූ අලිරීසා, විශේෂ දස්කම් රැසක හිමිකරුවෙකි. පන්දුව අතින් විසිකිරීම පිළිබඳ ඔහුට මනා හැකියාවක් ඇත. ඔහුගේ ඇතැම් විසිකිරීම් දුටු විට සිහිවන්නේ රුසියානු ශ්‍රේෂ්ඨයෙකු වූ ලෙව් යෂින් ය.

ආසියානු පාපන්දු කුසලාන තරගාවලියේ ඉරාකයට එරෙහි තරගයේ දී ඔහු විසින් සිදු කළ මීටර 70ක පමණ පන්දු විසිකිරීම ගැන මේ වන විට පාපන්දු ලොවම කතා කරමින් සිටියි. ඇතැමුන් පවසන්නේ එය ලෝක වාර්තාවක් විය යුතු බවයි.

අලිරීසා විසින් සිදු කළ දිගු විසිකිරීම

පසුගිය දා ඕමානයට එරෙහිව පැවති තරගය ජයගෙන අර්ධ අවසන් පූර්ව වටයට ගමන් කරන්නට ඉරානය සමත් විය. එහි දී අලිරීසා නැවතත් පාපන්දු මතකයක් අලුත් කළේය.

තරගයේ පළමු මිනිත්තුවේ දී ම ප්‍රතිවාදී ඕමාන් ක්‍රීඩකයන් හට දඬුවම් පහරක් හිමි විය. එසේ පළමු මිනිත්තුවේ දී ම ගෝලයක් පිටුපසින් තරගය අරඹන්නට වුණි නම් එය ඉරානයට දැවැන්ත මානසික කන්දක් නැගීමක් බවට පත්වන්නට තිබුණි. එහෙත් ඉරානයේ ගෝල රකින්නා අලිරීසා ය. ඔහු සාමාන්‍ය ගෝල රකින්නෙකු නොවේ.

“අවංකවම, මම ඒ දඬුවම් පහර එල්ල වෙන්න තත්පර දශම ගානකට කලින් ක්‍රිස්ටියානෝ ගැන හිතුවා.”

අලිරීසා රොයිටර් හමුවේ එසේ කියා තිබිණි.

“රුසියාවේ දී කරපු ගෝල රැකීම කණාවට කරපු එකක් කියලා මිනිස්සු හිතන්න පොළඹවන්න මට ඕන වුනේ නෑ. ඒත් දඬුවම් පහරවල් වැළැක්වීම කියන්නේ කණ්ඩායම වෙනුවෙන් මගේ වගකීම.” ඔහු කියන පරිදිම ඕමාන නායකයා එල්ල කළ දඬුවම් පහර ඉරාන ගෝලය තුළට යන්නට නොදී වළක්වන්නට ඔහු සමත් විය. තරගය අවසානයේ ගෝල 2-0ක් ලෙස ජය ගනිමින් ඉරානය අර්ධ අවසන් පූර්ව වටයට ගොඩ විය.

අලිරේසා බේරන්වැන්ඩ්; පාරේ නිදා ගැනීමේ සිට රොනාල්ඩෝගේ දඬුවම් පහරක් නැවැත්වීම දක්වා 

තවමත් 26 හැවිරිදි අලිරීසා මෙතෙක් මවා ඇති පුවත් සියල්ල ධනාත්මක පුවත් ය. ඒ ධනාත්මක පුවත් සමඟින් ඉක්මනින්ම යුරෝපා ලීගයක ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට ලැබෙනු ඇතැයි පාපන්දුලෝලීන් වශයෙන් අපි බලාපොරොත්තු වන්නෙමු. මෙතෙක් තෙවරක් ආසියානු ශූරතාවය දිනා ඇති ඉරානය වෙනුවෙන් දස්කම් පාන්නා සේම උසස් ලීගයක දී තවත් උසස් දස්කම් පාන්නට සමත් වුවහොත් අලිරීසා බෙරාන්වාන්ඩ්ගේ නම පාපන්දු පුරාවෘත්තයක් සේ ලියාතැබෙන දිනයක් ද උදාවනු ඇත.

ආසියාවෙන් පාපන්දු ලොවට බිහිවන තරු ප්‍රමාණය ඉතා අවම ය. එහෙත් ආසියාවට දැන් පුවත් මවන්නෙකු ලැබී තිබේ. ඒ පුවත් මවන්නා, ධනාත්මක පුවත් මවන්නෙකි. ඉරානයට වීරයෙකි. උත්සාහයෙන් ලොව ජය ගත් විශ්වාසදායී ආරක්ෂකයෙකි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<