Soft Signal සලකා බැලීම අවලංගු වන ලකුණු

ටෙස්ට් ලෝක ශූරතාවය 2021-23

905
ICC

ක්‍රිකට් තරගයක මතභේදාත්මක (නිවැරදිව පන්දු රැක ගත්තා ද තීරණය කළ නොහැකි) උඩ පන්දුවක් රැක ගත් පසුව එය තෙවැනි විනිසුරුට යොමු කිරීමේ දී සලකා බලන පිටියේ විනිසුරුගේ තීරණය (Soft Signal) ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගයේ සිට සලකා නොබැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

එමෙන්ම තරග ක්‍රීඩා කිරීමේ දී අඩු ආලෝක තත්වය වැනි කරුණු වලින් එල්ල වන බාධාවලට ද නව නීති ගෙන ඒමට කටයුතු කර ඇති බව ද වාර්තා වන අතර මෙම නව නීති ජුනි 07 වැනිදායින් ආරම්භ වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

නව වෙනස්කම් සලකා බැලීමෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති Sourav Ganguly එයට අවසර ලබා දී ඇති බව ද වාර්තා වෙනවා.

මෙම නව තීරණවලට අනුව දිවා තරගයක් පැවැත්වීමේ දී අයහපත් ආලෝක තත්වයක් ඇති වූ විට ක්‍රීඩාංගණයේ ඇති විදුලි ආලෝක දැල්වීමට ද අවසර හිමි වෙනවා.

එමෙන්ම මෙම ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය සඳහා අතිරේක දිනයක් ද ඇතුළත් වෙනවා.

පසුගිය කාලසීමාවේ දැඩි මතභේදයට තුඩු දුන් Soft Signal නීතිය ඉවත් කරන ලෙස බොහෝ ක්‍රීඩකයින් ඉල්ලා තිබූ අතර අවස්ථා ගණනක දී බොහෝ පිරිස් එය විවේචනය කළා.

“ජාත්‍යන්තර ක්‍රිකට්‍ කවුන්සිලය විසින් මෙම Soft Signal සලකා බැලීම ඉවත් කළ යුතු අතර පිටියේ විනිසුරු විසින් තෙවැනි විනිසුරුට යොමු කළ පසු එය සලකා බැලීම සියලු තාක්ෂණය සහිත තෙවැනි විනිසුරුවරයාට ලබා දිය යුතුයි,” යැයි Ben Stokes වරක් ප්‍රකාශ කළා.

එමෙන්ම පාකිස්තානය සහ එංගලන්තය අතර පැවති තරගාවලියේ දී පාකිස්තාන ක්‍රීඩක Saud Shakeelගේ දැවී යාමක් මෙම නීතිය නිසා බලපෑමට ලක් වූ අතර තරගයෙන් පසු පාකිස්තාන නායකයා ප්‍රකාශ කළේ එම තීරණය තරගයම වෙනස් කළ බවයි.

මෙම Soft Signal නීතියට අනුව,

Soft Signal යනු පන්දු යවන අන්තයේ විනිසුරුවරයා විසින් තෙවැනි විනිසුරුවරයාට ලබා දෙන තීරණයයි. පිටියේ විනිසුරුවරයන් දෙදෙනාට තීරණයක් ගැනීමට තෙවැනි විනිසුරුගේ සහය අවශ්‍ය වූ විට ඔවුන් දෙදෙනා සාකච්ඡා කර තෙවැනි විනිසුරුට යොමු කරන විට සිය තීරණය පන්දු යවන අන්තයේ විනිසුරු විසින් ලබා දීමයි.

පසුව එය තෙවැනි විනිසුරුවරයා විසින් පරීක්ෂා කර පිටියේ විනිසුරුගේ තීරණය වෙනස් කිරීමට හැකි සාක්ෂි නොමැති වුවහොත් පිටියේ විනිසුරු ලබා දුන් තීරණය අවසන් තීරණය වෙනවා.”

එහි සරල අර්ථය නම් එය විසින් පිටියේ විනිසුරුට තීරණයක් ගැනීමට බල කිරීමක් සිදු කරන අතර එය ඔහුට කිසිදු විශ්වාසයක් නොමැති වූවත් එම තීරණය වෙනස් කළ හැකියාවක් ලැබෙන්නේ නිවැරදි සාක්ෂියක් හිමි වූ පසු පමණයි.

ඒ අනුව මෙම නීතිය වෙනස් වීමත් සමඟ මතභේදාත්මක උඩ පන්දුවල අවසන් තීරණය ගැනීමේ පූර්ණ අයිතිය තෙවැනි විනිසුරුට හිමි වෙනවා.

මෙම ගැටලුව පිළිබඳ Ben Stokes සිය අදහස් දැක්වීමට පෙර ඉන්දීය ක්‍රිකට් ලේකම් Jay Shah එම නීතිය පිළිබඳ ප්‍රශ්න කර තිබූ අතර ඔහු වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයෙක් ද වෙනවා.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<