ශූරතා සිහිනය ඉන්දියාව හමුවේ බිඳ වැටේ

1454
pic credits - hindustantimes.com
pic credits - hindustantimes.com

දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම හා ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායම අතර අද (10) හයිද්‍රාබාද් හි ලාල් බහුදූර් ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර එම තරගයෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායමට කඩුලු 10ක විශාල පරාජයක් හිමි විය.

ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාව මූලික වටය නිමා කරයි

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ පූර්ණ සවිබල ගැන්වීමෙන් පැවැත්වෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම හා…

ඉන්දීය කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරයුම් කරන ලදි.

සුපුරුදු ලෙස ආරම්භක පිතිකරුවන් යුගල ලෙස සුරංග සම්පත් හා පැතුම් කුමාර පිටියට පැමිණි අතර, ඔවුන් දෙපලට සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට නොහැකි වූයේ ලකුණු 31ක් වන විට පැතුම් කුමාර දැවී යාමත් සමඟිනි. ලකුණු 36කට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු දෙකක් දැවී ගොස් තිබිය දී තෙවන කඩුල්ල සඳහා ලකුණු 90ක සබඳතාවයක් ගොඩනැංවීමට චන්දන දේශප්‍රිය හා සුරංග සම්පත් සමත් වූයේ, ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගය වෙත ඒමට බලාපොරොත්තුවක් ද ඉතිරි කරමින් වුවද, ශ්‍රී ලංකා ඉනිම යම් මට්ටමකට ගෙන ආ සුරංග සම්පත් 4 පහර 5ක් සමඟින් ලකුණු 49ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී යාමකට හසුකර ගැනීමට ඉන්දීය පන්දු රකින්නන් සමත් විය.

එය ඔවුන්ගේ හැරවුම් ලක්ෂය කර ගත් ඉන්දීය කණ්ඩායම  ලකුණු 48ක් තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 7ක්ම දවාලමින්, නියමිත පන්දුවාර 20ට පෙරාතුව සියලු දෙනා දවාලීමට සමත් වූයේ, ශ්‍රී ලංකා මැදපෙළ දුර්වල වූ බැවිනි. පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කඩුලු 2ක බැගින් දවා ගැනීමට සුනිල් හා රන්බීර් පාන්වර්ට හැකි විය.

ඉන්දීය පිතිකරුවන් අනුපිළිවෙළ දුටු විගස මෙම ලකුණු ප්‍රමාණය සාර්ථක ලකුණු ප්‍රමාණයක් නොවන බව පෙනුණු අතර, තරග විචාරකයන්ගේ මතය ද සනාථ කරමින් ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 175*ක් නොබිදුනු සබඳතාවයක් පවත්වා ගත් ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඉන්දියාවේ සිහිනය සැබෑවක් කල ප්‍රකාශ් ජේ 4 පහර 23ක් සමඟින් වේගවත් පිතිකරණයක නිරත වූ අතර, ඔහු නොදැවී ලකුණු 115*ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙත හිසරදයක් වෙමිනි. අනෙක් අන්තයෙන් කඩුල්ල රැක ගත් කුමාර් රෙඩ්ඩි 4 පහර 8ක් සමඟ නොදැවී ලකුණු 51*යි.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 174 (19.2): සුරංග සම්පත් 49, චන්දන දේශප්‍රිය 42, චන්දන සූරියආරච්චි 16, සුනිල් 2/21, රන්බීර් පාන්වර් 2/29

ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායම – කිසිවෙකු නොදැවී ලකුණු 175 (13): ප්‍රකාශ් ජේ 115*, කුමාර් රෙඩ්ඩි 51*, සුරංග සම්පත් 0/37

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට