පාබල හමුදාවේ උස පැනීමේ වීරයා – උදය කුමාර

542

නිමා වූ ශතක සංවත්සර ජාතික මලල ක්‍රීඩා උළෙලේ උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා පාබල හමුදාව නියෝජනය කළ උදය කුමාර සමත් වෙනවා.

එම උළෙලේ දී මීටර් 2.15ක උසක් තරණය කරන උදය කුමාර එය තමන් විසින් දක්වනු ලැබූ ඉහළ ම පෞද්ගලික දක්ෂතාව ලෙස ද සටහන් කර ගන්නවා.

බොහෝ දෙනෙක්ගේ බොහෝ දේවල් විනිශ්චය වන්නේ කුඩා කාලයේ පුරුදු හෝ නියැලි දේ මත. නමුත් එසේ නොවන අවස්ථාවන් ද වෙනවා. උදය කුමාර එවැන්නෙක්. බටපොළ නින්දාන ප්‍රාථමික විද්‍යාලයෙන් අකුරු කර හයවැනි පංතියේ සිට බටපොළ මහා විද්‍යාලයට ඇතුළත් වූ උදය කුමාර පාසල් කාලයේ දී කිසිදු ක්‍රීඩාවකට නිසියාකාරයෙන් ප්‍රවිෂ්ට වූ කෙනෙක් නොවේ.

ක්‍රීඩකයෙක් වෙන්න හෝ ක්‍රීඩාවක් කරන්න ඕන කියන කිසිදු හැඟීමක් මට පාසල් කාලයේ දී තිබුණේ නැහැ. ගෙදරින් වුනත් ඒ කිසි දේකට බලපෑමක් කළේ නැහැ. දෙමාපියන්ට ඒ වගේ දේකට යොමු කරන්න තරම් වත්කමක් තිබුනෙත් නැහැ. දන්න කියන කාලෙ වෙද්දී මට අවශ්‍ය වුනේ රස්සාවක් කරන්න,” උදය කුමාර ThePapare.com සමඟ කතාවට එක් වෙමින් පැවසුවා.

ඒ නිසා ම උදය කුමාරගේ පාසල් කාලය ගත වෙන්නේ කිසිදු අරමුණකින් තොරව. ඊට ප්‍රධානතම හේතුව වුනේ ආර්ථික තත්ත්වය. ඒකත් එක්ක පාසල් ආ ඉන්දිකට පාසල් පොත්වල අකුරුත් එක්ක ඔට්ටු වෙන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. ඒ නිසා පාසල් ගමන වුනත් කෙරුණේ යන්න ම ඕන නිසා මිසක් අරමුණකින් නම් නෙමේ. මේ නිසා පාසලේ ගුරුවරුන්ගෙන් දඬුවම් ලැබූ වාර අනන්තයි කියලයි ඉන්දික කියන්නේ.

ඒත් ඉතිං පාසලේ මුල් වාරයේ දී ඉන්දිකට ලැබෙන්නේ ලොකු පිළිගැනීමක්. වැඩි වශයෙන් ක්‍රීඩා කටයුතු යෙදෙන මේ කාලයේ දී පැවැත්වෙන නිවාසාන්තර තරගවල ඉන්දික වීරයෙක්.

පාසල් යන කාලේ කිසිදු ක්‍රීඩාවක් ලොකුවට කළේ නැහැ. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා තරගවලට අහුවෙන ක්‍රීඩාවක් කළා. සහභාගී වන ඉසව්වලින් අනිවාර්යයෙන් පළමු ස්ථාන 3ට ඇතුළත් වෙනවා. ඒ දක්ෂතාත් සමඟ මා තුළ සැඟවුණ ක්‍රීඩකයෙක් සිටින බව මගේ ක්‍රියාකාරකම් සමඟ මම දැන සිටියා. ඒත් ඉතිං ක්‍රීඩාව පැත්තෙන් ඉස්සරහට යන්න ඕන කියන හැඟීම තිබුණේ නැහැ. කොහොමටත් ක්‍රීඩා කරන්න අවශ්‍ය සපත්තු වගේ දේවල්වල අඩු-පාඩු තියෙද්දී මොන ක්‍රීඩාවක් ද කියලයි හිතුණේ. දිනපු ඉසව්වලින් කලාප, දිස්ත්‍රික් තරගවලට ගියා. ඒ තරග ජයග්‍රහණ කළ අවස්ථාත් තියෙනවා.”

නමුත් ඒ ජයග්‍රහණ උදය කුමාරට එතරම් ම දැනෙන්නේ නෑ. ඇතැම් අවස්ථාවල පළාත් තරග සඳහා සුදුසුකම් ලබා ගත්තත්, ඒවාට සහභාගී වෙන්න ඕන කියන හැඟීම උදය කුමාරට තිබුණේ නැහැ. ඒ සඳහා යොමු කරන්න උපදෙස් දෙන්න කෙනෙක්වත් ඒ දවස්වල උදය කුමාරට හිටියේ නැහැ.

එහෙම වසර දෙක තුනක් ගත වෙද්දී උදය කුමාර උස පැනීමේ ඉසව්වේ යම් තැනකට ගෙන යා හැකි ක්‍රීඩකයෙක් බව ක්‍රීඩා පුහුණුකරු ජාලිය සූර්ය කුමාර දකිනවා. ඒ අනුව උදය කුමාරට කෙරෙන ආරාධනාව අනුව ඔහු පුහුණුවීම්වලට පිවිසියත් ඒ යලට මහට සිදු වූවක් වුනා.

ඔන්න ඔය අතර තමයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ උදය කුමාරට ද පිටුවක් වෙන් කෙරෙන අවස්ථාව එළඹෙන්නේ. ඒ 2011 වසරේ දී බෙලිඅත්තේ පැවති ජාතික පාසල් මලල ක්‍රීඩා තරගාවලියයි.

ඒ මගේ පාසල් කාලයේ අවසන් වසර. එදා මම මීටර් 1.98ක් පමණ පැන්නා. මම වගේ ම රන් පදක්කම්ලාභියාත් පැන්නේ ඒ උසමයි. ඒත් මගේ එක් උත්සාහක අවස්ථාවක් මඟ හැරුණා. මේ නිසා මට හිමි වුනේ රිදී පදක්කම.”

ඒ පැනීම තම ජීවිතයේ සුවිශේෂී පැනීමක් බවට පත් වේ යැයි උදය කුමාරට ඊට පෙර හාංකවිසියක්වත් දැනී තිබුණේ නැහැ. කිසිදාක නොසිතූ අනාගතයකට ඔහුගේ ජීවිතය සේන්දු වෙමින් තිබුණා.

ඒ මීට් එකෙන් පස්සේ මට යුද හමුදාවට එකතු වෙලා ක්‍රීඩා කරන්න කියන ආරාධනාව ලැබෙනවා. මම දෙපාරක් නොසිතා ම ඊට කැමති වෙනවා. මොකද මට ඒ වෙද්දී රැකියාවක අවශ්‍යතාව දැඩිව ම දැනී තිබුණා.”

උදය කුමාරගේ පියා බී. ආර්. සමන්ත. පෙදරේරු වෘත්තිකයෙක් වූ ඔහු බිරිඳ කේ. ටී. මාලා සමඟ එක්වෙමින් උදය කුමාර ඇතුළු දරුවන් තිදෙනෙක්ගේ අවශ්‍යතාවන් සරි කළේ  බොහොම අරපිරිමැස්මෙන්. දවසෙන් දෙකෙන් උස් මහත් ව ඉලන්දාරි වෙන උදය කුමාරලාගේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් ඔහුට අමතර ව වියදමක් දැරීමට කිසිදු හැකියාවක් තිබුණේ නැහැ.

ඒ වෙද්දී උදය කුමාරගේ අක්කා ඉනෝකා දමයන්ති පාසල් ගමන අවසන් ව ගෙදර සිටි අතර මල්ලි වූ ඉශාන් උදය කුමාර පාසල් යමින් සිටියා. දැන් නම් උපපොලිස්වරයෙක් වන මල්ලි, පොලිස් වොලිබෝල් සංචිතයේ ක්‍රීඩකයෙක් ලෙසින් ද කටයුතු කරනවා. එදා ගෙදර තත්ත්වය නිසියාකාරයෙන් හඳුනා ගෙන සිටි උදය කුමාරට මේ ලැබුණ අවස්ථාව කොහෙත් ම මඟ හැර ගන්න හිතුණේ නැහැ.

එතැන් සිට යුද හමුදා පාබල හමුදා ක්‍රීඩා සංචිතය හා එක් වූ උදය කුමාර එතෙක් යලට මහට කරමින් සිටි ක්‍රීඩා කටයුතු තමන්ගේ මුල් ම පුහුණුකරු වූ ජාලිය සූර්ය කුමාර මහතා සමග එක් වෙමින් ක්‍රමවත්ව කරන්නට පටන් ගත්තා.

ටික කාලයක් යද්දී උදය කුමාර පළමු පුහුණුකරුගේ ද මඟ පෙන්වීම යටතේ දීප්ති කුමාර මහතාගේ පුහුණුකාරිත්වයට යොමු වුනා. “ඒක හරි දුෂ්කර අවදියක්.” උදය කුමාර පවසනවා. ඒ උදය කුමාරට බටපොළ සිට සතියේ වැඩි දින ගණනක් මාතර – දික්වැල්ලට පුහුණුවීම් කටයුතු සඳහා යෑමට සිදුවීම නිසයි. වසර 4ක පමණ කාලයක් මේ දුෂ්කර ක්‍රියාව කළ බවයි උදය කුමාර පවසන්නේ.

මේ අපහසුතාව හේතුවෙන් ම ඉන් අනතුරුව උදය කුමාර, රංග සුරේෂ් කුමාර මහතා යටතේ පුහුණුවීම්වලට එක් වෙනවා. සෑම දිනක ම බටපොළ සිට කිලෝමීටර් 4-5ක දුරක් ගෙවා අම්බලන්ගොඩ පැමිණෙන උදය කුමාර හුදකලාව ම ශාරීරික පුහුණුවීම්වල නිරත වෙනවා. ඊට පසුව තම ඉසව්වේ පුහුණුවීම්වලට අවශ්‍ය මෙට්ටය ක්‍රීඩාංගණයට පැමිණෙන කාගේ හෝ උදව්වන් ද ඇතිව අතුරා ගන්නා උදය කුමාර තම කාර්යයේ නිරත වෙනවා.

උදය කුමාර පුහුණුකරු සුරේෂ් කුමාර මහතා සමගින්

මගේ ක්‍රීඩා ජීවිතය ගොඩ නැගීමේ සියලු ගෞරවය හිමි වෙන්නේ ඒ පුහුණුකරුවන් තුන් දෙනාට. ඔවුන් තුන් දෙනා තමයි මාව ක්‍රීඩාවෙන් යා යුතු ඉලක්කයක් කරා යොමු කළේ. ඒ ගැන ඔවුන් කෙරෙහි ඇත්තේ විශාල ගෞරවයක්. ඒ වගේ ම මගේ ක්‍රීඩා දිවියට උපදෙස් දෙන සියලු ම දෙනාටත්, මට ක්‍රීඩා පිටියේ දී හමුවෙන සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවනුත් ආදරයෙන් සිහිපත් කරනවා.”

2012 වසරේ දී යුද හමුදාව හා එක් වූ උදය කුමාර තමන් මුහුණ දුන් පළමු තරගාවලිය වූ සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලියේ දී රිදි පදක්කමක් දිනා ගැනීමට සමත් වෙනවා. ඉන් අනතුරුව සෑම වසරක දී ම පැවති ප්‍රධාන මලල ක්‍රීඩා තරගවල දී කුමන හෝ පදක්කමක් දිනා ගැනීමට ඔහු සමත් වෙනවා.

ඒ අනුව 2013 වසරේ දී යුද හමුදා ස්වේච්ඡා බලකා ක්‍රීඩා උළෙලේ රිදි පදක්කම සහ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ ලෝකඩ පදක්කමත්, 2014 වසරේ ජාතික ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කමත් සහ ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කමත්, 2015 වසරේ දී  යුද හමුදා ස්වේච්ඡා බලකා ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කමත්, 2016 ජාතික ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම සහ යුද හමුදා ස්වේච්ඡා බලකා ක්‍රීඩා උළෙලේ රිදි පදක්කමත් දිනා ගන්නවා.

අනතුරුව 2017 වසරේ දී පැවති ජාතික ක්‍රීඩා උළෙලේ රිදි පදක්කම සහ ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම ද, 2018 වසරේ දී යුද හමුදා ස්වේච්ඡා බලකා ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම ද, රාජ්‍ය ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ රිදි පදක්කම ද සහ ජාතික ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම ද දිනා ගන්නවා.

“2019 වසරේ දී යුද හමුදා ස්වේච්ඡා බලකා ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කමත්, ජාතික මහා ක්‍රීඩා උළෙලේ නැවත වතාවක් ලෝකඩ පදක්කමත් දිනා ගත් මම 31 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ දී මීටර් 2.08ක උසක් පනිමින් රන් පදක්කමට අමතර ව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ද සම්මාන දිනා ගන්නවා. ඒක මම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. එම දක්ෂතාව සහ පන්නරයත් සමගින් මම 99 වැනි ජාතික මලල ක්‍රීඩා උළෙලේ දී වගේ ම 100 වැනි ජාතික මලල ක්‍රීඩා උළෙලේ ද පිට පිට වසර දෙකක දී රන් පදක්කම දිනා ගන්න සමත් වෙනවා.”

මේ ආ ගමනේ දී ඔහුගේ පෙළ ගැස්වුණ බලාපොරොත්තු අතර පළමු වෙන්ම ලැයිස්තු ගතව ඇත්තේ ජාතික වාර්තාව තමන් සතු කර ගැනීම. ඒ වෙනුවෙන් පුහුණුවීම් කටයුතුවල නිරත වූව ද, හදිසියේ ඇති වූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඔහු මේ වන විට තාවකාලිකව ක්‍රීඩා පිටියෙන් සමුගෙන සිටිනවා.

ක්‍රීඩකයෙක් ලෙසින් බලාපොරොත්තු කිහිපයක් ම තිබෙනවා. ඒ වෙනුවෙන් ඉතා ඉක්මනින් නැවත ක්‍රීඩා පිටියට පිවිසෙන්න බලාපොරොත්තු වෙනවා,” උදය කුමාර පවසනවා.

මම කවදාවත් හිතුවේ නැහැ ක්‍රීඩාවෙන් මේ වගේ ගමනක් එන්න. ඒකට පාර පෙන්නුවේ මගේ පුහුණුකරුවන් සහ පාබල හමුදාව. ඒ දැක්වූ දායකත්වයට හැම දෙනෙක්ට ම ස්තුති කරනවා. ඒ වගේ ම මගේ අම්මා, තාත්තා සහ අක්කත්, මල්ලිත් දැක්වූ දායකත්වය වගේ ම මගේ ඥාතීන්ට, යහළුවන්ට, පාසල් දෙකේ ගුරුවරුන්ට සහ සියලුම දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. අද උදය කුමාර කියන ක්‍රීඩකයා ක්‍රීඩා පිටියේ සිටින්නේ ඒ සියලු දෙනාගේ ආශීර්වාදය නිසා බව මම කවදාවත් අමතක කරන්නේ නැහැ,” උදය කුමාර තව දුරටත් ThePapare.com සමඟ පැවසුවා.

උදය කුමාරගේ අනාගත බලාපොරොත්තු සඵල වේවායි ThePapare.com පවුලේ සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<