“විනය රැකගෙන ආදර්ශමත් ක්‍රීඩකයෙක් වෙන්න අපි අනාගතය හදන්නම්”

220

ක්‍රීඩාව ගොඩනැගීමේ මූලික අඩිතාලම ගත යුත්තේ පාසල් හා ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමින් බවත්, ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඉතා සමීපව කටයුතු කර නැවත වතාවක් පාසල් ක්‍රීඩාව ආරම්භ කරන බවත් ඊයේ (07) ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.

ඒ එතුමාගේ ප්‍රධානත්වයෙන් දෙහිවල ප්‍රදේශයේ පැවති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

“පැහැදිලිව කියන්න අවශ්‍යයි ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධව අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ක්‍රීඩා සංගම්වලටත් අපි දැනුවත් කරලා තිබෙනවා කිසිසේත් විනය කඩ කිරීම්වලට සමාව දෙන්න පුළුවන් කමක් නැහැ කියලා. විනය ප්‍රධානකොට ගෙන ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ අපි හදන්න අවශ්‍යයයි.”

තවත් ක්‍රිකට් පුවත්:

“අම්මා කෙනෙක් දරුවෙක් ක්‍රීඩාවට එවන්නේ බලාපොරොත්තුවක් ඇතිව. අම්මා තාත්තා විශ්වාස කරනවා දරුවා ක්‍රීඩකයෙක් බවට පත් වෙනකොට ඒ දරුවාගේ විනයත් හැදෙයි කියලා. සමාජයේ ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කරයි කියන විශ්වාසේ ඔවුන්ට තිබෙනවා. ඒ දේවල් ආරක්ෂා කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ.”

“මේ වෙනකොට අපි මහේල ජයවර්ධන මහතා ප්‍රමුඛ ක්‍රීඩා කවුන්සිලය එකතු වෙලා ඉහළ දක්ෂතා සහිත ක්‍රීඩකයින්ගෙන් සපිරි සංචිතය සමග ගිවිසුම්ගත වෙලා තිබෙනවා. ක්‍රීඩකයින් 60කට වැඩි ප්‍රමාණයක් මෙම ගිවිසුම හරහා අප සමඟ සම්බන්ධ වී තිබෙනවා. ඔවුන්ට ඒ සඳහා සාධාරණ ගෙවීමක් අපි කරනවා.”

“ඉදිරියේ දී කනිෂ්ඨ සංචිතය ගිවිසුම්ගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. ක්‍රීඩාව දියුණු වෙන කොට ජාත්‍යන්තර ජයග්‍රහණ කරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ යොමු වන විට ඔවුන්ගේ ආදායම් මට්ටම ඉහළ යනවා. එය ක්‍රීඩා ආර්ථිකයේ කොටසක්.”

“ක්‍රීඩා ආර්ථිකය ගොඩ නගන්න නම් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩ නගන්න අවශ්‍යයයි. අපි පළාත් මට්ටමින් ජයග්‍රහණය කළාම ඇති, ජාතික මට්ටමින් ජයග්‍රහණය කළාම ඇති කියන මානසිකත්වයෙන් මිදිලා ජාත්‍යන්තර ජයග්‍රහණ කරා අපේ ක්‍රීඩකයෝ අපි අරගෙන යන්න ඕනේ.”

“ක්‍රීඩකයා ක්‍රීඩා කරන කාලසීමාව තුළ තමන්ගේ විනය ආරක්ෂා කරගෙන ආදර්ශමත් ක්‍රීඩකයෙක් බවට පත් වුවහොත් ඔහුට අනාගතය ගොඩනගා ගත හැකි සැලැස්ම අපි හදනවා. පසුගිය වසර ගණනාව පුරා අපි දැක්කේ නැහැ එවැනි වැඩ පිළිවෙළක්. ක්‍රීඩක ක්‍රීඩිකාවන් රට වෙනුවෙන් තරග කරලා ජයග්‍රහණ ලබා ගෙන ක්‍රීඩාවෙන් සමුගත්තාම ඔවුන්ව රැක බලා ගන්න වැඩසටහනක් තිබුණේ නැහැ” යැයි ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා මෙහි දී පැවසුවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<