තෙන්දුල්කාර් දකින ඉන්දියාවේ දුර්වලතා

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

123

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා බලාපොරොත්තු තබා ගත හැකි කණ්ඩායමක් ලෙස බොහෝ දෙනා හැඳින්වූ ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ පළමු තරග දෙකම පරාජයට පත්වීම පසුගිය දින කිහිපය තුළ දැඩි කතාබහට ලක්ව තිබුණා.

මේ පිළිබඳව හිටපු සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් ද සිය අදහස් දක්වා තිබුණා. එහි දී ඔහු පවසා සිටියේ ඉන්දීය කණ්ඩායමට දියුණු කර ගත යුතු අංශ කිහිපයක් පවතින බවයි.

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහභාගි වූ පළමු තරගය ලෙස ඔවුන් සිය ප්‍රබල ප්‍රතිවාදියා වන පාකිස්තානය සමඟ තරග වැදුණා. එම තරගයේ දී ප්‍රබල දස්කම් දැක්වීමට සමත් වූ පාකිස්තානය තරගය ජයග්‍රහණය කළේ කඩුලු දහයකින්.

ඉන්දිය කණ්ඩායම සහභාගි වූ දෙවැනි තරගය පසුගිය දා නවසිලන්තය සමඟින් පැවති අතර එම තරගය නවසීලන්තය ජයග්‍රහණය කළේ කඩුලු 8කින් වීම විශේෂත්වයක්. ඒ අනුව ඉන්දීය පන්දු යවන්නන් තරගාවලියේ පළමු තරග දෙක තුළ දී ම ලබාගෙන තිබුණේ කඩුලු දෙකක් පමණයි.

පළමු තරගය තරග දෙක පරාජය වීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ අවසාන පූර්ව වටයේ බලාපොරොත්තු තරමක් සුන් වී ඇති අතර ඔවුන්ට තරගාවලිය තුළ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් සෙසු තරග සියල්ල ජයග්‍රහණය කළ යුතු අතර සෙසු තරග ද ඔවුන්ට වාසිදායක ලෙස විසඳිය යුතු වනවා.

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති තරගයේ දී ඉන්දීය පිතිකරුවන් නවසිලන්ත පා දඟපන්දු යවන ක්‍රීඩක Ish Sodhi හමුවේ අසාර්ථක වීම කැපී පෙණුනා. Ish Sodhi හැම තරගයක් තුළම පන්දුවාර හතරක් ක්‍රියාත්මක කරමින් කඩුලු දෙකක් දවා ගෙන තිබුණේ ලකුණු 17ක් පමණක් ලබා ලබා දෙමින්.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් වන Rohit Sharma ලකුණු 14කටත්, Virat Kohli ලකුණු 9කටත් දවා ගැනීමට ඔහු සමත් ව තිබුණා. එම කඩුලු දෙක ඉන්දීය කණ්ඩායමට ප්‍රබල බලපෑමක් එල්ල කළ අතර ඔවුන් ලකුණු 111ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවක රඳවා ගැනීමට ද මහත් උපකාරයක් වුනා.

ඉන්දීය කණ්ඩායමේ මෙම අසාර්ථකත්වය පිළිබඳව අදහස් දැක්වූ හිටපු සුපිරි ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් පවසා සිටියේ ඔහුගේ දත්ත විශ්ලේෂණය අනුව ඉන්දීය කණ්ඩායමේ පසුබෑම සඳහා මූලික හේතුව වී ඇත්තේ ඔවුන් පා දඟපන්දු යවන්නන් හමුවේ දක්වන අසාර්ථකත්වය බවයි.

“මේ තරග දෙක තුළ දී මම එක දෙයක් දැක්කා. පා දඟපන්දු යවන්නන් ඔවුන්ගේ පන්දු වෙනස් කරමින් යවන අවස්ථාවල දී ඉන්දීය පිතිකරුවන් කරුවන් ඒවා නිවැරදි ලෙස හඳුනා ගැනීමට සමත් වුනේ නැහැ. මේ පන්දු යවන්නන් භාවිතා කරන googlies, top-spin, flipper පන්දු සහ සාමාන්‍ය පා දඟපන්දු ඉන්දීය කණ්ඩායම හමුවේ වඩාත් සාර්ථක වුනා”, සිය නිල Facebook පිටුවේ සටහනක් තබමින් තෙන්දුල්කාර් පවසා සිටියා.

“නවසීලන්ත තරගය ගත්තොත් Ish Sodhi වඩාත් ඵලදායි ලෙස ක්‍රීඩා කළා. ඒ වගේම අනෙක් අන්තයෙන් Santner ඉතාමත් හොඳින් පන්දු යැවුවා. ඔවුන් දෙදෙනා පන්දු වාර අටක් තුළ ලබා දී තිබුණේ ලකුණු තිස් දෙකක් පමණයි. ඒක ලොකු බලපෑමක් වුනා ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුවට. මම හිතන්නේ මේ අංශවලින් ඉන්දියාව ගොඩක් දියුණු වෙන්න ඕනේ.”

තරගාවලිය තුළ ඉන්දීය පන්දු යවන්නන් ද දිගින් දිගටම අසාර්ථක වීම කැපී පෙනෙන කරුණක් වුනා. මේ පිළිබඳව අදහස් දක්වමින් සචින් තෙන්දුල්කාර් පවසා සිටියේ අඩු ලකුණු සංඛ්‍යාවක් හඹා යන තරගයක දී ජයග්‍රහණය කිරීමට ඇති එකම අවස්ථාව ඉක්මන් කඩුලු කීපයක් ලබා ගැනීම බවයි.

“මේ වගේ අඩු ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කරන්න තියෙන වෙලාවක දී වෙලාවක දී ඉන්දීය පන්දු යවන්නන් නියම විදිහට පන්දු යැවුවේ නැහැ. මේ වගේ වෙලාවක මුල් පන්දුවාර හය තුළ අපි අඩුම ගානේ කඩුලු තුනක්වත් ලබා ගන්න ඕනේ. Bumrah එක් කඩුල්ලක් ලබාගන්න සමත් වුනත් ඒක ප්‍රමාණවත් වුණේ නැහැ.”

“අපි Varun Chakravarthi මුල් පන්දුවාරවල යොදා ගත්තා. නවසීලන්ත මුල්පෙළ පිතිකරුවන් ඔහුගේ පන්දු යැවීම හඳුනාගෙන තිබුණේ නැත්නම් අපිට කඩුලු කිහිපයක් ලබාගන්න අවස්ථාව තිබුණා. ඒත් ඒක එහෙම වුනේ නැහැ”, තෙන්දුල්කාර් පවසා සිටියා.

ඉන්දීය කණ්ඩායම හෙට (03) ඇෆ්ගනිස්ථානය සමඟින් තරග වැදීමට නියමිතයි. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<