සුනිල් නරින් පන්දුව දමා ගහන්නේ නැහැ!

233

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට අස්වැසිල්ලක් වෙමින් සුනිල් නරීන්ට එල්ල වී තිබුනු ‘සැක සහිත පන්දු යැවීමේ ඉරියව්වේ’ චෝදනාවෙන් ඔහුව නිදහස් කරන්නට IPL සැක සහිත පන්දු යැවීම් විමර්ෂණය කිරීමේ කමිටුව තීරණය කර තිබේ. මේ පිළිබඳව ඉන්දීය ප්‍රිමියර් ලීග් බලධාරීන් පසුගිය ඉරිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුනි. 

නරීන් සැක සහිත ඉරියව්වකින් පන්දු යවන බව අබුඩාබි හිදී කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම සමඟ පැවති තරගයේ විනිසුරුවන් වාර්තා කර තිබුනි. නයිට් රයිඩර්ස් කණ්ඩායම එම තරගය ලකුණු දෙකකින් ජය ගත් අතර නරීන් මෙම තරගයේ දී හොඳින් පන්දු යැවීම කැපී පෙනුනි. විනිසුරුවන් පැමිණිලි කිරීමෙන් අනතුරුව නරීන්ව අවදානම් පන්දු යැවීමේ ඉරියව් ලැයිස්තුවට ඇතුළු කෙරුනු අතර විමර්ෂණ කටයුතු සිදුවන තුරු ඔහුට පන්දු යැවීමට අවසර ලබා දී තිබුනි.

නරීන් අහිමි වීමේ අවදානම ගැනීමට අකමැති වූ නයිට් රයිඩර්ස් බලධාරීන්, ඔහුට ඉන්පසුව පැවති තරග දෙක ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දුන්නේ නැත. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව වීඩියෝ දර්ශණ ඔස්සේ විමර්ෂණ කර ඔහුගේ වැලමිට නැවීම නියමිත නියමයන්ට අනුකූල බව IPL බලධාරීන් නිගමනය කර තිබේ. කෙසේවෙතත් එම විමර්ෂණය සිදුකළ කමිටුව පවසා තිබුනේ නරීන් විමර්ශණයට භාවිතා කළ වීඩියෝ දර්ශණ වල තිබුනු ඉරියව්වෙන්ම පන්දු යැවීම සිදුකළ යුතු බවයි.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

“කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම IPL සැක සහිත පන්දු යැවීමේ ඉරියව් විමර්ෂණය කිරීමේ කමිටුවට විශේෂ ඉල්ලීමක් කර තිබුනා නරීන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව විමර්ෂණය කරන්න කියලා. ඔවුන් ඊට අදාළ සියලුම වීඩියෝ දර්ශණ ඉදිරිපත් කර තිබුනා. කමිටුව පන්දු යැවීමේ ඉරියව්ව විමර්ෂණය කර තීරණය කළා, ඔහුගේ වැලමිට නැවීම නිසි නියමයන්ට අනුකූලව සිදුවෙනවා කියලා.” යයි මාධ්‍ය නිවේදනයේ සඳහන් වී තිබුනි.

“ඉදිරියට ඇති IPL 2020 තරගවලදී නරීන් වීඩියෝ දර්ශණ වල දැක්වෙන පන්දු යැවීමේ ඉරියව්වම භාවිතා කළ යුතු බව කමිටුව දැනුම් දුන්නා. ඔහුව IPL සැක සහිත පන්දු යැවීමේ ඉරියව් ලැයිස්තුවෙන් ඉවත් කරනවා.” 

2014 වසරේ සිටම සුනිල් නරීන්ගේ පන්දු යැවීමේ ඉරියව්වට විවිධ ගැටලු ඇති විය. 2014 වසරේ ‘ශූරයින්ගේ ලීග් කුසලාන’ තරගාවලියේ දී ඔහුට දෙවරක්ම පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව චෝදනා එල්ල විය. ඒ නිසාම ඔහුට 2015 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියත් අහිමි විය. 2015 වසරේ IPL තරගාවලියේ දීද ඔහුට පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව චෝදනා එල්ල වූ අතර එම වසරේ නොවැම්බර් මාසයේ දී ඔහුට පන්දු යැවීමේ තහනමක් පැනවුනි.

2016 වසරේ අප්‍රේල් මාසයේ දී ICCය ඔහුට නැවත පන්දු යවන්නට අවසර ලබා දුන් අතර 2018 වසරේ මාර්තු මාසයේ පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී ඔහුට නැවතත් පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ චෝදනා එල්ල විය.

Cricinfo ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<