ඉතාලිය සහ ජැමෙයිකාව ආධිපත්‍යය තහවුරු කරද්දී ඇමරිකාව පසුබසියි

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල

488

2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තවත් කාර්‍යබහුල දිනයක නිමාව අද (06) සටහන් වුනා. මලල ක්‍රීඩා ඉසව් කීපයක මෙන්ම තවත් ඉසව් රැසකම අවසන් තරග අද පැවැත්වුනා. වඩාත් කතාබහට ලක්වූ පිරිමි සහ කාන්තා මීටර් 4×100 සහය දිවීමේ තරග ඉසව්වල දී ඉතාලිය සහ ජැමෙයිකාව රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුනා.

ThePapare.com ගෙන එන මේ සටහන 14 වැනි දිනයේ සිදු වූ සුවිශේෂී සිදුවීම් කීපයක් පිළිබඳවයි.

මලල ක්‍රීඩා (Athletics)

පිරිමි මීටර් 5000 ඉසව්වේ තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමට වත්මන් ලෝක වාර්තාවේ හිමිකරු වන උගන්ඩාවේ Joshua Cheptegei සමත් වුනා. ඒ විනාඩි 12 තත්පර 58.15ක කාලයක් වාර්තා කරමින්. මෙම ඉසව්වේ රිදී පදක්කම කැනඩාවේ Mohammed Ahmed හටත්, ලෝකඩ පදක්කම ඇමරිකාවේ Paul Chelimo හටත් හිමිවුනා. 

මලල ක්‍රීඩා තරග ඉසව් අතරින් වඩාත් තරගකාරී ඉසව්වක් වූ කාන්තා මීටර් 400 තරගය ජයග්‍රහණය කිරීමට බහමාස් කණ්ඩායම නියෝජනය කළ Shaunae Miller සමත් වූ අතර ඩොමිනිකන් රාජ්‍යය නියෝජනය කළ Marileidy Paulino එහි නව ජාතික වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කමට හිමිකම් කීමට සමත් වුනා. ලෝකඩ පදක්කම හිමිවුනේ ඇමරිකාවේ Allyson Felix හටයි.

මෙම පදක්කම Allyson Felix විසින් දිනාගත් 10 වන ඔලිම්පික් පදක්කම ලෙස වාර්තා පොත් අතරට එක්වුනා. ඇය වැඩිම පදක්කම් ප්‍රමාණයකට හිමිකම් කියූ කාන්තා ජවන හා පිටිය ක්‍රීඩිකාව ලෙස ඉතිහාසගත වුනා. 2004 වසරේදී ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පැවති ඔලිම්පික් තරගාවලියේදී සිය පළමු පදක්කම ලබාගන්නා Allyson 2008 වසරේ බීජින් ඔලිම්පික් තරගාවලියේදී පදක්කම් ද්විත්වයක් වාර්තා කිරීමට සමත්වූවා. ඉන් අනතුරුව 2012 ලන්ඩන් සහ 2016 රියෝ ඔලිම්පික් තරගාවලි වලදී පදක්කම් තුන බැගින් වාර්තා කළ ඇය මෙවර ඔලිම්පික් තරගාවලියේදී සිය 10 වන පදක්කමද වාර්තා කිරීමට සමත්වුනා. ඇය සිය ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට සමත්නොවූවද එම ඉසව්වේ වැඩි අවධානයක් දිනාගැනීමට ඇය සමත්වුනා.

ඉන් අනතුරුව පැවති කාන්තා මීටර් 1500 ඉසව්වේ දී නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමට කෙන්යාවේ Faith Kipyegon සමත් වුනේ විනාඩි 3 තත්පර 53.11ක කාලයක් වාර්තා කරමින්. ඇය බිඳහෙළුවේ 1988 වසරේ දී රොමේනියානු ක්‍රීඩිකා Paula Ivan විසින් තබා තිබූ වාර්තාවක්. මෙම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් පිළිවෙළින් බ්‍රිතාන්‍යය ක්‍රීඩිකා Laura Muir සහ නෙදර්ලන්ත ක්‍රීඩිකා Sifan Hassan විසින් දිනා ගත්තා. 

මෙවර කාන්තා මලල ක්‍රීඩාවේ තම ආධිපත්‍යය තහවුරු කිරීමට ජැමෙයිකාව සමත් වුනේ මීටර් 4×100 සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්. ඔවුන් එහි දී තත්පර 41.02ක කාලයක් වාර්තා කළ අතර එය ජැමෙයිකානු වාර්තාවක් වුනා. ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය රිදී සහ ලෝකඩ පදක්කම්වලට හිමිකම් කීමට සමත් වුනා.

ඉතාලිය මෙවර ඔලිම්පික් උළෙලේ පෙරළිකාර මලල ක්‍රීඩා කණ්ඩායම බවට පත්වීමට සමත් වුනේ පිරිමි මීටර් 4×100 සහය දිවීමේ තරග ඉසව්වේ දී ද රන් පදක්කමට හිමිකම් කියමින්. ඔවුන් නව ඉතාලි වාර්තාවක් පිහිටුවමින් එහි රන් පදක්කම් දිනා ගත් අතර බ්‍රිතාන්‍යය සහ කැනඩාව රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වුනා.

පැසිපන්දු (Basketball)

කාන්තා පැසිපන්දු අවසන් පූර්ව තරග දෙකක් අද පැවති අතර එහි දී සර්බියාව පරාජය කළ ඇමරිකානු කණ්ඩායම සහ ප්‍රංශය පරාජය කළ ජපාන කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. 

වෙරළ වොලිබෝල් (Beach Volleyball)

මෙවර වෙරළ වොලිබෝල් තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීමට ඇමරිකානු කණ්ඩායම සමත් වූ අතර අවසන් තරගයේ දී ඔවුන් විසින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග වට 2-0ක් ලෙස පරාජය කිරීමට සමත් වුනා. 

මෙහි දී ලෝකඩ පදක්කම සඳහා ලැට්වියාව සහ ස්විස්ටර්ලන්තය තරග වැදුණු අතර ස්විස්ටර්ලන්ත කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ තරග වට 2-0ක් ලෙසින්. 

බොක්සිං (Boxing)

කාන්තා Middle (කිලෝග්‍රෑම් 69-75) බර පන්තියේ තරගය අතරතුර (ඡායාරූපය olympics.com)

කාන්තා Middle (කිලෝග්‍රෑම් 69-75) බර පන්තිය

Lauren Price (බ්‍රිතාන්‍යය) සහ Qian Li (චීනය) අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

පිරිමි Light (කිලෝග්‍රෑම් 57-63) බර පන්තිය

Keyshawn Davis (ඇමරිකාව) සහ Andy Crus (කියුබාව) අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

පිරිමි Heavy (කිලෝග්‍රෑම් 81-91) අවසන් තරගය සඳහා Julio la Cruz (කියුබාව) සහ Muslim Gadzhimagomedov (රුසියාව) තරග වැදුනු අතර එහි ජයග්‍රහණය හිමිවුනේ Julio la Cruz හටයි.

පාපැදි (Cycling Track)

කාන්තා (Madison)

  1. රන් පදක්කම – බ්‍රිතාන්‍යය 
  2. රිදී පදක්කම – ඩෙන්මාර්කය 
  3. ලෝකඩ පදක්කම – රුසියාව 

පිරිමි (Sprint)

  1. රන් පදක්කම –  Harrie Lavreysen (නෙදර්ලන්තය)
  2. රිදී පදක්කම – Jeffrey Hoogland (නෙදර්ලන්තය)
  3. ලෝකඩ පදක්කම – Jack Carling (බ්‍රිතාන්‍යය)

පාපන්දු (Football)

මෙවර ඔලිම්පික් උළෙලේ පිරිමි පාපන්දු ලෝකඩ පදක්කම දිනා ගැනීමට මෙක්සිකෝව සමත් වුනා. තුන්වැනි ස්ථානය සඳහා පැවති තරගයේ දී ඔවුන් ජපානය ගෝල 3-1ක් ලෙස පරාජය කිරීමට සමත් වුනා.

හොකී (Hockey)

කාන්තා හොකී රන් පදක්කම නෙදර්ලන්තයට හිමි වුනා. අවසන් තරගයේ දී ඔවුන් විසින් ආජන්ටිනා කණ්ඩායම ගෝල 3-1ක් ලෙස පරාජය කිරීමට සමත් වුනා.

හොකී කාන්තා තරගාවලියේ ලෝකඩ පදක්කම සඳහා වන තරගය සඳහා බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව සුදුසුකම් ලබාගෙන සිටියා. එහි දී ඉන්දීය කණ්ඩායම ගෝල 4-3ක් ලෙස පරාජය කළ බ්‍රිතාන්‍යය කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

කරාතේ (Karate)

පිරිමි Kata අවසන් තරග

  • රන් පදක්කම –  Ryo Kiyuna (ජපානය)
  • රිදී පදක්කම – Damian Quintero (ස්පාඤ්ඤය)
  • ලෝකඩ පදක්කම – Sofuoglu Ali (තුර්කිය)
  • ලෝකඩ පදක්කම – Ariel Torres (ඇමරිකාව)

නවීන දසප්‍රයාම (Modern Pentathlon)

කාන්තා තනි පුද්ගල Laser Run ඉසව්ව

  1. රන් පදක්කම –  Kate French (බ්‍රිතාන්‍යය)
  2. රිදී පදක්කම – Laura Asadauskaite (ලිතුවේනියාව)
  3. ලෝකඩ පදක්කම – Sarolta Kovacs (හංගේරියාව)

මේසපන්දු (Table Tennis)

ජපානය ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව (ඡායාරූපය olympics.com)

මේසපන්දු අවසන් තරග සඳහා ද බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා. මෙහි දී රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත් වූ අතර අවසන් තරගයේ දී ඔවුන් විසින් ජර්මනිය වට 3-0ක් ලෙස පරාජය කිරීමට සමත් වුනා. 

ලෝකඩ පදක්කම සඳහා කොරියාව සහ ජපානය සුදුසුකම් ලබා සිටි අතර ජපානය තරග වට 3-1ක් ලෙස තරගය ජයග්‍රහණය කරමින් ලෝකඩ පදක්කම සඳහා හිමිකම් කීමට සමත් වුනා. 

2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ 14 වැනි දිනය ලෙස අද දිනය නිමා වන විට චීනය රන් පදක්කම් 36ක් සමඟින් තවමත් පෙරමුණේ පසුවනවා. ඔවුන් රිදී පදක්කම් 26ක් සහ ලෝකඩ පදක්කම් 17ක් දිනාගෙන තිබෙනවා.

පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට ඇමරිකාව සමත්ව ඇත්තේ රන් පදක්කම් 31ක් සිය පදක්කම් සටහනට එක් කර ගනිමින්. සත්කාරක ජපානය රන් පදක්කම් 24ක් දිනාගෙන ඇති අතර ඔවුන් පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානයට පත්ව සිටිනවා. 

බ්‍රිතාන්‍යය සහ රුසියාව අතර සිව්වැනි ස්ථානය සඳහා තියුණු සටනක් නිර්මාණය වී ඇති අතර ඔවුන් පිළිවෙළින් රන් පදක්කම් 18ක් සහ 17ක් ලබාගෙන සිටිනවා.

පදක්කම් සටහනේ මුල් ස්ථාන 10 වෙන්වී ඇත්තේ මෙසේයි.

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම.

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<