හදිසියේම විශ්‍රාම ගියේ ඇයි? රයිනාගෙන් පිළිතුරක්

658

ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ මෙන්ම ලෝකයේම ක්‍රිකට් ලෝලීන්ගේ හදවත් කම්පා කරමින්, ‘ඉන්දියාව බිහි කළ විශිෂ්ටතම ක්‍රිකට් නායකයා’ ලෙස හැඳින්වෙන මහේන්ද්‍ර සිං දෝනි සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට පසුගිය දා තීරණය කළේය.

ලෝක ක්‍රිකට් ක්‍රීඩාව මදකට නතර කරවූ දෝනිගේ සමුගැනීමෙන් මද වේලාවකට පසු ඔහුත් සමඟින් විශ්‍රාම යාමට ඉන්දීය සුපිරි ක්‍රීඩක සුරේෂ් රයිනා ද එක්වීම ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ කම්පනය දෙගුණ කිරීමට සමත් විය.

කෙසේ වෙතත් එම සමුගැනීම්වල උණුසුම මැකී යාමටත් පෙර තම තීරණය පිළිබඳව සිය හඬ අවදි කිරීමට සුරේෂ් රයිනා එක්ව සිටියේය.

ඔහුගේ දිගුකාලීන මිතුරෙකු සහ ඉන්දියානු කණ්ඩායම් සගයා වන මහේන්ද්‍ර සිං දෝනි පසුගිය සිකුරාදා (14) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පුහුණු සැසියක් සඳහා චෙන්නායි වෙත පැමිණ තිබුණි. මහේන්ද්‍ර සිං දෝනි චෙන්නායි වෙත පැමිණීමෙන් පසු සිය විශ්‍රාම යාම නිවේදනය කරන බව තමා දැන සිටි බව සුරේෂ් රයිනා අනාවරණය කර තිබේ.

සුරේෂ් රයිනා ද දෝනි සමඟින් චෙන්නායි පුහුණු සැසිය සඳහා එක්වූ අතර එයට පියුෂ් චව්ලා, දීපක් චහාර් සහ කර්න් ෂර්මා ද එක්ව සිටියහ. දෝනි එලෙස චෙන්නායි වෙත පැමිණීමෙන් දිනකට පසුව තම විශ්‍රාම යාම Instagram ඔස්සේ පළකර තිබුණි.

දෝනි සිය තීරණය පිළිබඳව නිවේදනය කිරීමෙන් මොහොතකට පසු ඔහුගේ විශ්‍රාම ගමනට සුරේෂ් රයිනා ද එක්වූයේ twitter පණිවුඩයක් සමඟිනි.

දෝනි චෙන්නායි වලට ආවට පස්සේ විශ්‍රාම යන බව නිවේදනය කරනවා කියලා මම දැනගෙන හිටියා. ඒ නිසා මම ඒකට සූදානමින් හිටියේ. මගේ විශ්‍රාම යාමත් ඒකත් එක්කම දැනුම් දෙන්න මම සැලසුම් කරලා තිබ්බා” යයි රයිනා Dainik Jagran වෙත පැවසීය.

තවත් ක්‍රිකට් පුවත් : 

මම, පියුෂ් චව්ලා, දීපක් චහාර් සහ කර්න් ෂර්මා එක්ක කරච්චි වලට ගියා. එහි දී තමයි මහේන්ද්‍ර සිං දෝනිත් එක්ක මොනු සිං අපිත් එක්ක එකතු වුනේ.”  

දෝනි එක්ක මම විශ්‍රාම ගැනීම නිවේදනය කළාට පස්සේ අපි ගොඩක් වෙලා බදාගෙන ඇඬුවා. ඊට පස්සේ මමයි දෝනියි පියුශ් චව්ලා, අම්බත්ති රයිදු, කේදාර් ජාදව්, කරන් ශර්මා එක්ක අපේ මේ ක්‍රිකට් ජීවිතය ගැන අපේ යාළුකම ගැන ගොඩක් දේවල් කතා කළා. අපි එදා රෑ වෙනකන් කතා කළා. අපි අපේ ක්‍රිකට් ජීවිතය එදා සැමරුවා.” 

රයිනා සිය විශ්‍රාම දිවිය නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේ ඉරිදාය. ඒ twitter ඔස්සේය. ඉන් අනතුරුව ඔහු නිල වශයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයට ඒ බව දන්වා තිබුණි. මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසා සිටියේ තම විශ්‍රාම ගැනීම දිගු කාලීන සැලසුමකට අනුව සිදු වූ බව සුරේෂ් රයිනා තමන්ට දන්වා ඇති බවයි.

“අගෝස්තු 15 සෙනසුරාදා විශ්‍රාම ගන්න අපි කලින් ඉඳන් සැලසුම් කරලා තිබුණේ. දෝනිගේ ජර්සි අංකය 7. මගේ ජර්සි අංකය 3. ඉතින් ඒ දෙක එකතු වුනාම 73 වෙනවා. අපි විශ්‍රාම ගත්ත අගෝස්තු 15 වැනිදට ඉන්දියාව නිදහස ලබාගෙන වසර 73ක් සපිරෙනවා. ඒ හින්දා මේ තීරණය ගන්න මීට වඩා හොඳ දවසක් නැති වේවි.”  

දෝනි ඔහුගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 2004 දෙසැම්බර් 23 චිතගොං වල තිබුණ බංග්ලාදේශ තරගයේ දී. මම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එන්නේ 2005 ජූලි 30 ශ්‍රී ලංකා තරගයේ දී. අපි දෙන්නා එක ළඟ කාලයක දී තමයි කණ්ඩායමට එන්නේ. ඉතිං අපි හිතුවා අපේ විශ්‍රාම යාමත් එකම කාලයක දී කරන්න. අපි ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් එකට සෙල්ලම් කළා. ඒ වගේම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමෙත් එකට හිටියේ. ඉතින් දැන් අපි දෙන්නා එකට විශ්‍රාම යනවා. ඒ වගේම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී එකට ක්‍රීඩා කරනවා.”  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<