Home Sinhala වැස්සට සේදුණු තරගයේ චමරි නැවත දිදුලයි

වැස්සට සේදුණු තරගයේ චමරි නැවත දිදුලයි

3005

තරග 3 බැගින් වන එක්දින සහ විස්සයි විස්ස තරගාවලි 2ක් වෙනුවෙන් මෙරටට පැමිණි බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (29) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුණ ගැසුණා. දෙරට අතර පළමු එක්දින තරගය වූ එහි ප්‍රතිඵලයක් ලබා ගැනීමට අතොරක් නැතිව ඇද හැලුණු වර්ෂාව ඉඩ ලබා දුන්නේ නැහැ.

පසුගිය දින කිහිපයේම පී. සරා පිටිය අවට වැසි සහිත කාලගුණයක් දකින්නට ලැබුනත්, අද උදෑසන තරගය නියමිත පරිදි ආරම්භ කරන්නට තරම් කණ්ඩායම් දෙක වාසනාවන්ත වුනා. එහි දී දෙපාර්ශවයේ නායිකාවන් වන චමරි අතපත්තු සහ Nigar Sultana අතරේ උරගා බැලුණු කාසියේ වාසිය හිමි වුනේ ශ්‍රී ලංකා නායිකාවටයි. ඒ අනුව ඇය මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉල්ලා සිටියා.

අද දිනයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ජාත්‍යන්තර වරම් දිනා ගත් අතර 21 හැවිරිදි පිතිකාරිණී ඉමේෂා දුලානි සහ දකුණත් වේගපන්දු යවන්නියක් වන කාව්‍යා කාවින්දි එම භාග්‍යයට හිමිකම් කිව්වා. වයස 27ක් වනතුරුම ඉවසා බලා සිටි Sultana Khatun අද අවසානයේ බංග්ලාදේශය වෙනුවෙන් ජාත්‍යන්තර හිස්වැසුම් පැළඳ ගත්තා.

මේ අනුව ශ්‍රී ලංකා ඉනිම අද ඇරඹෙන්නේ හර්ෂිතා මාධවී සහ විශ්මි ගුණරත්න අතිනුයි. නමුත් තරගාවලියේ යැවූ පළමු පන්දුවෙන්ම දක්ෂ යොවුන් පිතිකාරිණියක් වන හර්ෂිතා පිටියෙන් ඉවත් කිරීමට Jahanara Alam සමත් වුනා.

ඒ තම ප්‍රතිවාදී පිතිකාරිණියව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින්. ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 32ක් එකතු වෙද්දී දෙවැනි කඩුල්ල ලෙස විශ්මි ගුණරත්න දැවී යන්නේ Nahida Aktarට තරගාවලියේ මුල්ම කඩුල්ල හිමිකර දෙමින්.

පී. සරා තණතිල්ලේ අද උදෑසන පැවති සුළු දෝලනයෙන් වාසි ගැනීමෙන් පසු තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක් එකතු කිරීමට චමරි අතපත්තු සහ ඉමේෂා දුලානි සමත් වුනා. කවදත් ශ්‍රී ලංකා පිතිකරණ අංශයේ ගැලවුම්කාරිණිය වන චමරි අතපත්තු අදත් පන්දු 37කට පමණක් මුහුණ දී ලකුණු 47ක් ලබා ගත්තේ ප්‍රවේගකාරී පිතිකරණයක නිරත වෙමින්.

චමරිගේ ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහර 2කින් උත්කර්ෂයට නැංවුනා. නමුත් චමරි ඉක්මන් වූවා වැඩි දැයි කියා සැක සංකා ඇති වුනේ සුපුරුදු පරිදි ඉන්පසු මැදපෙළ කඩුලු කිහිපයක් ඉක්මනින් බිඳ වැටුණු නිසයි.

ඉමේෂා දුලානිගේ ප්‍රථම ජාත්‍යන්තර ඉනිම ලකුණු 10කට සීමා වුනා. නිලක්ෂි ද සිල්වා පන්දු 9කට මුහුණ දෙමින් රැස්කළේ ලකුණු 2ක් පමණයි. ප්‍රසාදනී වීරක්කොඩි ලබා ගත් ලකුණු 24ට අන්තර්ගත වුනේ එක් හතරේ පහරක් පමණයි. ඇය දැවී ගියේ Sultana Khatunගේ මංගල එක්දින කඩුල්ල ලෙසයි.

මේ අනුව ශ්‍රී ලංකා ඉනිමේ සයවැනි කඩුල්ලත් ලකුණු 117ක් තුල බිඳ වැටුණු නිසා බංග්ලාදේශය තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගත්තා. කවීශා දිල්හාරි සහ ඕෂධි රණසිංහ අතරේ ලකුණු 35ක සබඳතාවයක් ගොඩ නැගෙන්නේ ඉන් අනතුරුවයි. එහි දී කවීශා පන්දු 49කින් ලකුණු 30ක්ද, ඕෂධි රණසිංහ නොදැවී ලකුණු 14ක් ද ලබා සිටිය දී වර්ෂාව පී. සරා ඕවල් පිටියේ තරග උණුසුම මකා දැමීමට තීරණය කළා.

ඒ වන විට ශ්‍රී ලංකා ඉනිම දැක්වුනේ කඩුලු 6කට ලකුණු 156ක් ලෙසයි. පන්දු යැවීමේ දී වමතින් පිට දඟපන්දු යවන Nahida Aktar ලකුණු 24කට කඩුලු 3ක් දවාගෙන සිටියා. පිටියේ කාර්යමණ්ඩලය තරගය නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් උදාවන තුරු බලා සිටියත්, අතොරක් නැතිව පැය ගණනක් පුරාවට ඇදහැළුණු වර්ෂාව ඊට ඉඩ හසර උදා කළේ නැහැ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම: කඩුලු 6ක් දැවී ලකුණු 152 (පන්දුවාර 36.4): චමරි අතපත්තු 47, කවීශා දිල්හාරි 30*, ප්‍රසාදනී වීරක්කොඩි 24, ඕෂධී රණසිංහ 14*, විශ්මි ගුණරත්න 11, ඉමේෂා දුලානි 10, Nahida Aktar 3/24, Fahima Khatun 1/25, Jahanara Alam 1/35, Sultana Khatun 1/46.

මේ අනුව දෙරට අතර පළමු එක්දින තරගය ප්‍රතිඵලයකින් තොරව අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළ අතර දෙරට අතර දෙවැනි එක්දින තරගය ලබන අඟහරුවාදා (02) මෙම ක්‍රීඩාංගණයේ දී ම දිවා තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි. එහි සියලු තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka Women

Bangladesh Women