මෙරට පිතිකාරිණියන් අසරණ වූ පුහුණු තරගයේ ජය බංග්ලාදේශයට

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1074

සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු පුහුණු තරගයෙන් ලකුණු 27ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

කොළඹ CCC ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ආරාධනාවෙන් පිටියට පිවිසි බංග්ලාදේශයේ ඉනිම ලකුණු 116කට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට හැකි වුනා.

බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ Salma Khatun ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වූ Ritu Moni ලකුණු 17ක් සහ Jahanara Alam ලකුණු 16ක් ලබා ගත්තා.

කණ්ඩායම් නායිකා Nigar Sultana ලකුණු 11ක් ලබා ගැනීමට සමත් වූ අතර අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වුනේ නැහැ.

පන්දු යැවීමේ දී මදුශිකා මෙත්තානන්ද , මල්කි මදාරා සහ තාරුකා මදුශානි කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූ අතර නිර්මලා මදුශානි සහ දෙව්මි විහංඟා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 117ක පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 33.4ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 89ක් පමණයි.

කණ්ඩායමේ සාර්ථකම පිතිකාරිණිය වූ උමේෂා තිමේෂානි ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වූ අතර පියුමි වත්සලා නොදැවී ලකුණු 19ක් සහ මදුෂිකා මෙත්තානන්ද ලකුණු 18ක් ලබා ගැනීමට සමත් වුනා.

අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි වූ අතර බලාපොරොත්තු සහගත ක්‍රීඩිකාවක් වූ දෙව්මි විහංඟාට ලබා ගැනීමට හැකි වුනේ එක් ලකුණක් පමණයි.

අගනා පන්දු යැවීමක නිරත වූ Fahima Khatun ලකුණු 22කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර Disha Biswas සහ Nahida Akter කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ඒ සමඟ ශ්‍රී ලංකා සභාපතිගේ කාන්තා කණ්ඩායම පරදවා ලකුණු 27ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට හැකි වූ තරගාවලියට පෙර හොඳ සූදානමක් ලබා ගෙනයි.

  • බංග්ලාදේශ කාන්තා කණ්ඩායම- 116 (38.1): Salma Khatun 32, Ritu Moni 19, මදුශිකා මෙත්තානන්ද 2/17.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම – 86 (33.4): උමේෂා තිමේෂානි 24, පියුමි වත්සලා 19*, Fahima Khatun 4/22.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගය සෙනසුරාදා (29) ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<