සංචාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැති 2 වැනි එක්දින තරගයෙන් කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලදේශ ක්‍රීඩකයෝ අද (28) සමත් වුනා.
කොළඹ CCC පිටියේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 211ක් ලබා ගත් අතර එම ඉලක්කය කඩුල්ලක් පමණක් දැවී සපුරා ගැනිමට සංචාරක ක්‍රීඩකයෝ සමත් වෙනවා.
එම තරග ජයග්‍රහණයත් සමඟින් තරග 6කින් යුත් ශ්‍රී ලංකා – බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ 2 වැනි එක්දින තරගය අවසන් වන විට 1-1ක් ලෙස තරගාවලිය සම කර ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වුනා.
අද තරගයේ දී පෙර තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ම එක් වූ අතර බංග්ලාදේශ කණ්ඩායම එක් වෙනස්කමක් සහිත ව පිටියට පිවිසියා. ඒ Rafi Uzzaman Rafi වෙනුවට Farhan Shahriar එක් කර ගනිමිනුයි. මෙම තරගය ඔහුගේ මංගල යොවුන් එක්දින තරගයයි.
ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
විමත් දින්සර (නායක), දුල්නිත් සිගේරා, දිමන්ත මහවිතාන, සෙනුජ වැකුණගොඩ, චාමික හීනටිගල, කිත්ම විදානපතිරණ, දිනුර දම්සිත් (කඩුලු රකින්නා), කවිජ ගමගේ, විග්නේශ්වරන් ආකාශ්, කුගදාස් මාතුලන් සහ රසිත් නිම්සර.
බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Azizul Hakim Tamim (නායක), Zawad Abrar, Kalam Siddiki Aleen, Shahriar Ahmed, Rizan Hossan, Md Abdullah (කඩුලු රකින්නා), Debashis Sarkar Deba, Samiun Basir Ratul, Al Fahad, Iqbal Hasan Emon, Farhan Shahriar.
- විග්නේශ්වරන් බංග්ලාදේශ යෞවනයන් අනාථ කරයි
- තුන් කොන් තරගාවලිය සඳහා UAE යන ශ්‍රී ලංකා A සංචිතය නම් කරයි
- සිංහ සහ බංගලි කොටි පැටවුන්ගේ එක්දින අරගලය
- Major Club විස්සයි විස්ස තරගාවලියට දින නියම කරයි
- ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයට පුහුණු කිරීමේ වගකීම චාමර සිල්වාට
අද තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයා පෙර තරගයේ දී සේ ම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලට පන්දු 28ක දී ලකුණු 30ක සබඳතාවක් එක් කිරීමට දුල්නිත් සිගේරා සහ දිමන්ත මහවිතාන සමත් වෙනවා.
දුල්නිත් සිගේරා පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටිය දී දැවී යෑමෙන් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව සෙනුජ වැකුණුගොඩ ලකුණු 5කට ද සහ නායක විමත් දින්සර ලකුණු 7කට ද දැවී ගියා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ කඩුලු 3කට ලකුණු 49ක් ලෙසයි.
එම අවස්ථාවේ දී 4 වැනි කඩුල්ල වෙනුවෙන් දිමන්ත මහවිතාන සහ චාමික හීනටිගල එක් ව පන්දු 95ක දී ලකුණු 53ක සබඳතාවක් එක් කිරීමට සමත් වෙනවා. දිමන්ත මහවිතාන පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 39කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳී යනවා.
එම දැවී යෑමෙන් අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමේ හොඳම ලකුණු සබඳතාව එක් කිරීමට චාමික හීනටිගල සහ දිනුර දම්සිත් සමත් වුනා. ඔවුන් දෙදෙනා 5 වැනි කඩුල්ලට පන්දු 89ක දී ලකුණු 81ක සබඳතාවක් එක් කරනවා.
දිනුර දම්සිත් පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 47කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා. ඔහුගේ දැවී යෑමත් සමඟින් අනතුරුව යැවුණ 2 වැනි පන්දුවේ දී චාමික හිනටිගල ගේ ඉනිම ද නිමා වෙනවා. ඔහු දැවී යන විට පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා. මෙය ඔහු මෙම තරගාවලියේ පිට පිට ලබා ගත් 2 වැනි අර්ධ ශතකයයි.
අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරි කඩුලු 4 ලකුණු 27ක් තුළ දැවී යන අතර එම දැවී ගිය කඩුලු අතුරින් කිත්ම විදානපතිරණ ලකුණු 10ක් ලබා ගන්නවා. අනෙකුත් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි නොවන අතර ඉනිමේ අවසන් කඩුලු ත්‍රිත්වය එක් පන්දුවාරයක් තුළ දවා ගැනීමට Al Fahad සමත් වෙනවා.
දකුණතින් මඳ වේග පන්දු යැවූ ඔහු ඉනිම අවසන් වන විට ලකුණු 44කට කඩුලු 6ක් දවා ගත්තා. ඔහුට අමතර ව Iqbal Hossain Emon ලකුණු 37කට කඩුලු 2ක් ද, Azizul Hakim සහ Samiun Basir කඩුල්ල බැගින් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු Zawad Abrar පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 130ක් ලබා ගත්තා.
බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 35 දී දැවී ගිය අතර 2 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 180ක සබඳතාවක් ගොඩ නැගීමට Zawad Abrar සහ නායක Azizul Hakim සමත් වෙනවා.
තරගයේ තවත් පන්දු 93ක් ඉතිරි ව තිබිය දී බංග්ලාදේශ ක්‍රීඩකයෝ ජයග්‍රහණය වාර්තා කරද්දී Azizul Hakim පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 69ක් ලබා සිටියා.
ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ල කුගදාස් මාතුලන් සතු වුනා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– සියලුම දෙනා දැවී 211 (48.5) දුල්නිත් සිගේරා 23, දිමන්ත මහවිතාන 39, චාමික හීනටිගල 51, දිනුර දම්සිත් 47,Al Fahad 6/44, Iqbal Hossain Emon 2/37
- බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– කඩුල්ලක් දැවී 215 (34.3)Zawad Abrar නොදැවී 130, Azizul Hakim නොදැවී 69, කූගදාස් මාතුලන් 1/45
බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
දෙරට අතර පැවැත්වෙන 3 වැනි යොවුන් එක්දින තරගය මැයි මස 01 වැනිදා කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<