ප්‍රබල කැන්ගරුවන් මෙල්ල කිරීමට ශ්‍රී ලංකාවෙන් නව සැලසුම්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

292

2021 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි තරගය අද (28) ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි. ඒ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තරග 4ම ජයග්‍රහණය කරමින් ඉතා හොඳ මානසිකත්වයකින් ඔවුන් මේ තරගය සඳහා අවතීර්ණ වෙනවා.

එසේම, ඕස්ට්‍රේලියාව විසින් දකුණු අප්‍රිකාව කඩුලු 5කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන මේ තරගය සඳහා අවතීර්ණ වෙනවා. කෙසේ නමුත් ගෙවී ගිය වසර දෙකක කාලය තුල ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක දී මුණගැසී නැහැ.

T20 ලෝක කුසලාන තරග තුනක දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව එකිනෙකා මුණගැසී තිබෙන අතර ඉන් තරග දෙකක ජය ඕස්ට්‍රේලියාව සතු වෙද්දී, එක් තරගයක් ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා.

වැඩි අවධානයට

කණ්ඩායම් දෙකේම මුල්පෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිස නැහැ. නමුත් බංග්ලාදේශ තරගයේ දී ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරන්නට සමත් වුනා.

ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් අතරින් පැතුම් නිස්සංක සහ චරිත් අසලංක ලකුණු අතරට පිවිසි නමුත්, අත්දැකීම් බහුල ප්‍රහාරාත්මක පිතිකරු කුසල් පෙරේරාට සිය පිතිකරණයේ නිසි රිද්මයට පැමිණීමට තවමත් හැකි වී නැහැ.

ඕස්ට්‍රේලියාව දෙස බැලීමේ දී ද, ඔවුන්ගේ නායක Aaron Finch සහ David Warner නිසි ලකුණු ලබා ගැනීමේ රිද්මයකට පැමිණ නැහැ. නමුත් එය පහසුවකට නොගෙන ශ්‍රී ලංකා පන්දු යවන්නන් හොඳින් පන්දු යැවීම සිදු කළ යුතු වෙනවා.

ශ්‍රී ලංකාව දෙස තිබෙන ධනාත්මක කරුණ වන්නේ බංග්ලාදේශ තරගයට ක්‍රීඩා නොකළ මහීෂ් තීක්ෂණ මේ තරගය සඳහා ක්‍රීඩා කිරීමට ඉතාමත් හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් පසුවීමයි.

කණ්ඩායමේ සංයුතිය

ශ්‍රී ලංකාව මේ වන විට පන්දු යැවීම සහ පිතිකරණය අතින් ප්‍රශස්ත මට්ටමක සිටිනවා. මහීෂ් තීක්ෂණ මේ වන විට හොඳ ශාරීරික යෝග්‍යතාවයක සිටින නිසා බිනුර ප්‍රනාන්දු වෙනුවට මහීෂ් අද තරගය සඳහා කණ්ඩායමට පැමිණෙනු ඇති.

දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයේ දී ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගය සඳහා ද ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙනවා.

තීරණාත්මක ක්‍රීඩකයින්

ඕස්ට්‍රේලියානු මුල්පෙළ පිතිකරුවන් 7 දෙනෙකුගෙන් 5 දෙනෙක්ම දකුණතින් පිතිකරණයේ නිරත වන පිතිකරුවන් වන අතර වනිඳු හසරංග සහ මහීෂ් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු නිසැකයි.

ඕස්ට්‍රේලියානු පිතිකරුවන් මේ දඟපන්දු යවන්නන් දෙදෙනා සඳහා මුහුණ දී නොතිබෙන අතර එය ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට යම් මානසික පීඩාවක් වෙනවා.

එසේම දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාර යන ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සහ  Pat Cummins, Mitchell Starc සහ Josh Hazlewood යන ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් හොඳ රිද්මයක සිටින නිසා වේගපන්දු යවන්නන් අතර හොඳ ද්වන්ද සටනක් ද දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

තරගයට අපේක්ෂිත කණ්ඩායම්,

  • ඕස්ට්‍රේලියාව – David Warner, Aaron Finch (capt), Mitchell Marsh, Steven Smith, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade (wk), Pat Cummins, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood
  • ශ්‍රී ලංකාව – Kusal Perera (wk), Pathum Nissanka, Charith Asalanka, Avishka Fernando, Wanindu Hasaranga, Bhanuka Rajapaksa, Dasun Shanka (capt), Chamika Karunaratne, Dushmantha Chameera, Lahiru Kumara, Maheesh Theekshana

තණතීරුව සහ එහි ස්වභාවය

ඩුබායි තණතීරුව, පිතිකරුවන් සඳහා ඉතාමත් හොඳ, උචිත තණතීරුවක් වන අතර පන්දු යවන්නන් වෙත ද යම් සහයක් තිබෙනවා. කාලගුණ තත්වය ඉතාමත් උණුසුම් මට්ටමක පවතින අතර රාත්‍රි තරගයක් නිසා පින්න (dew) යම් සාධකයක් වීමට වැඩි ඉඩක් තිබෙනවා. ඒ නිසාවෙන් කාසියේ වාසිය ජයග්‍රහණය කරන කණ්ඩායම පළමුව පන්දු යැවීමට වැඩි ඉඩක් තිබෙනවා.

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගය අද (28) රාත්‍රි 7.30ට ආරම්භ වෙන අතර එම තරගයේ තොරතුරු ඇතුළු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<