ශ්‍රී ලංකා කාන්තාවන් අතීත ආසියානු වොලිබෝල් පිටියේ ප්‍රබල කණ්ඩායමකි. එහෙත් එහි මුල් දසදෙනා අතර බොහෝ විට රැඳුණු ඔවුන්ට අද වන විට හිමි වී ඇති අභියෝගය තවත් ප්‍රබල වී තිබේ. ඒ, පිලිපීනයේදී පැවැත්වෙන 19 වැනි ආසියානු වොලිබෝල් ශූරතාවලිය සඳහා සහභාගී වන්නට ඔවුන් සූදානම් වන නිසයි.

1991 වසරේ සාක් රන් පදක්කම දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමෙන් වාර්තා වූ ජාත්‍යන්තර වොලිබෝල් ජයග්‍රහණයක් නැත. එහෙත් 1999 වසරේදීත් ඉන්දියාවට එරෙහිව වට 5ක තරගයක් දිය හැකි තරගකාරී කාන්තා කණ්ඩායමක් අප සතුවිය. දස්කම් සහිත වුවද යම් හේතුවක් නිසා පසුපසට යන බවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම 2009 වසරේදී යළිත් හිස ඔසවන්නට සමත් වූයේ ආසියාවේ 9 වැනි ස්ථානය දිනා ගනිමිනි.

2017 වසරේ ආසියානු වොලිබෝල් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම C කාණ්ඩයෙන් එක්වන්නේ 2015 වසරේ දෙවන ස්ථානය දිනාගත් දකුණු කොරියාවත්, 5 වැනි ස්ථානය දිනාගත් වියට්නාමයත් සමඟයි. ශ්‍රී ලංකාවට 2015 වසරේදී හිමිවූයේ 14 වැනි ස්ථානයයි. වොලිබෝල් ඉතිහාසය අතින් ශ්‍රී ලංකාව වියට්නාමය ඉක්මවා සිටියත් මෑතක සිට වියට්නාමයේ වොලිබෝල් දස්කම්වල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර පසුගියදා අවසන් වූ ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව පරාජය කිරීමටද ඔවුන් සමත් විය.

2007 වසරේ සිට මේ දක්වා කාන්තා වොලිබෝල් ජාතික කණ්ඩායම නියෝජනය කරන ඉරේෂා පෙරේරා ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්.

“තායිලන්තය, වියට්නාමය වගේ රටවල්වල ගොඩාක් තරගාවලි පවත්වනවා. ඔවුන්ට හොඳට අත්දැකීම් ලබාදෙනවා. වොලිබෝල්වල දියුණුවට හේතුව ඒකයි.”

පුහුණුව සහ පුහුණුකරුවන්

කෙසේ වෙතත් අතීත පරාජයන් අමතක කර දමමින් ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම මාස 5ක කාලයක් පුරා ක්‍රීඩා අමාත්‍යාංශයේ නේවාසිකව පුහුණුවීම් ලැබුවේය. කණ්ඩායමට පුහුණුවීම් ලබාදෙන ලද්දේ මෙරට ප්‍රබල වොලිබෝල් පුහුණුකරුවෙකු සේ සැලකෙන සුමිත් ජයලාල් මහතා යි.

ඔහුගේ සහාය පුහුණුකරු ධූරය දරනු ලැබුවේ නිශාන් ඉන්දික විසිනි. අභ්‍යාසක වශයෙන් කටයුතු කළ සුසිරි මංගල, ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට දින කිහිපයකට පෙර රිය අනතුරකට ගොදුරු වූ අතර ඔහුට සංචාරය මඟ හැරී ගියේය.

ප්‍රබල ක්‍රීඩිකාවන්

සංචිතය නියෝජනය කරන ක්‍රීඩිකාවන්ගෙන් බොහෝ දෙනෙකු කුමන හෝ මට්ටමකදී ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළවුන් ය. එහි අත්දැකීම් සහ තරුණ ජවය යන දෙකෙහිම සංකලනයක් ඇති අතර අනෙකුත් වසරවලට වඩා උස ක්‍රීඩිකාවන් මෙවර සංචිතයට ඇතුළත් වේ.

දිනේෂා ප්‍රසාදිනී – 2006 වසරේ සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන දිනේෂා උසපන්දු ප්‍රහාරිකාවකි. මාදම්පේ සේනානායක විද්‍යාලයෙන් වොලිබෝල් ක්‍රීඩාවට පිවිසි ඇය සාග් රිදී පදක්කම්ලාභිනියක වන අතරම මින් පෙර පැවති ආසියානු වොලිබෝල් ශූරතාවලිය සඳහාද සහභාගී වූවාය. දැනට ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායමේද නායකත්වය උසුලන ඇය පසුගිය වසරේ පැවති මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ ජයග්‍රහණය සඳහා සිය කණ්ඩායම මෙහෙයවූවාය. එමෙන්ම ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශුරතාවලිය ජයගත් කොස්වාඩිය විජය කණ්ඩායමට නායකත්වය දුන්නේද ඇයයි.

ඉරේෂා පෙරේරා – කණ්ඩායමේ උපනායකත්වය හොබවන ඉරේෂා වසර 10කට වැඩි කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කරන පන්දු සකසන්නියකි. ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඉරේෂාද, සාග් රිදී පදක්කම්ලාභිනියකි. ඇයද 2015 ආසියානු තරගාවලිය නියෝජනය කර අත්දැකීම් ඇති ක්‍රීඩිකාවකි.

වාසනා මධුමාලි – ත්‍රිකුණාමලය මිහිඳුපුර මහා විද්‍යාලයෙන් වොලිබෝල් ක්‍රීඩාවට දායාද කරන ලද වාසනා, දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරයි. ජාතික කණ්ඩායමේ අත්දැකීම් ඇති ක්‍රීඩිකාවක වන ඇය උසපන්දු ප්‍රහාරිකාවක් වශයෙන් කණ්ඩායමට දායකත්වය ලබා දේ.

චතුරිකා රණසිංහ – කෙටි පන්දු ප්‍රහාරිකාවක වන චතුරිකා, වලපනේ කීර්තිබණ්ඩාර විද්‍යාලයෙන් වොලිබෝල් ක්‍රීඩාවට පිවිස දැනට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරයි. මන්චි ජාතික වොලිබෝල් ශුරතාවලියේදී දක්ෂතම ක්‍රීඩිකාව බවටද පත්වූ ඇය හොඳ උසකින් සහ ප්‍රහාරක හැකියාවන්වලින් සමන්විතයි.

දිනුෂා සංජීවනී – නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ලිබරෝ ක්‍රීඩිකාව වශයෙන් කටයුතු කරන දිනුෂා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නිත්‍ය ලිබරෝ ක්‍රීඩිකාවයි. සෑමවිටම ජයග්‍රහණය කිරීමේ උවමනාවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩිකාවක සේ හැඳින්විය හැකි ඇය පන්දු ගොඩගැනීමේ දක්ෂතාවයෙන් ඉදිරියෙන් සිටියි.  

මීට අමතරව උසපන්දු ප්‍රහාරිකාවන් වශයෙන්,

හෂිනි ලක්ෂිකා, අප්සරා සෙව්මාලි, තිලිණි වාසනා, අයේෂා මධුරිකා ද,

කෙටිපන්දු ප්‍රහාරිකාවන් වශයෙන්,

කාංචනා දිල්හානි, සංජීවනී කරුණාරත්න ද,

පන්දු සකසන්නියක වශයෙන්,

අශානි ජයතුංග ද කණ්ඩායමට එක්වෙයි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර අත්දැකීම් අඩුකමින් පෙළෙමින් වුවත් දස්කම් පවත්වාගෙන යාමට මොවුන් දක්වන උනන්දුව සහ කැපවීම අගය කළ යුතුය. තරග මුදලක් හෝ අය නොකරගෙන ක්‍රීඩාවේ යෙදෙන මේ ක්‍රීඩිකාවන්, අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් ක්‍රීඩාව රැකගැනීම වෙනුවෙන් තම ජීවිතය කැප කළ ක්‍රීඩිකාවන් ය.

2015 වසරේ 14 වැනි ස්ථානයෙන් සෑහෙන්නට වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එතැනින් ඉදිරියට පැමිණෙන්නට මෙම තරගාවලිය පාලමක් කර ගත හැකිය. එළඹෙන 9 වැනිදා ඇරඹෙන තරගාවලියේදී එය එසේම සිදුවේවායි යන පැතුම ශ්‍රී ලංකා වොලිබෝල් ප්‍රේක්ෂකයන් වශයෙන් අප හැමදෙනාගේ සිත් තුළ සටහන්ව ඇත.     

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට