ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුවේ “වෝනර් – කවාජා හිසරදය”

1519

ඕස්ට්‍රේලියානු එක්දින ක්‍රිකට් කණ්ඩායම අසාර්ථක මට්ටමක සිට සාර්ථක මට්ටමක් දක්වා හිස ඔසවා ගත්තේය. ඒ ඩේවිඩ් වෝනර් සහ ස්ටීවන් ස්මිත් නම් සුපිරි පිතිකරුවන් දෙදෙනා ක්‍රිකට් තහනමක් ලබා පිටියෙන් පිටත සිටිය දීයි. එහෙත් ඒ තහනම ඉවත් වීමට ආසන්න බැවින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිස එසවීම සඳහා අගනා මෙහෙයක් ඉටු කළ ආරම්භක පිතිකරු උස්මාන් කවාජාගේ ස්ථානයට කුමක් සිදු වේවි දැයි ප්‍රේක්ෂකයන් තුළ යම් සැකයක් මතුවීම නැවැත්විය නොහැක්කකි.

පසුගිය ඉන්දියානු එක්දින තරග සංචාරයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් තරගාවලිය ජය ගත්තේය. 2-1ක් ලෙස පසුපසින් සිට තරගාවලිය ඇරඹූ කණ්ඩායම 3-2ක් ලෙස තරගාවලිය ජය ගත් අතර එහි දී කවාජාගේ පිතිකරණය කැපී පෙනිණි. ඉන්දියානුවන් විසින් හරහට දඟ කැවෙන මන්දගාමී විකට්ටු ලබා දෙද්දීත් කවාජා තම කණ්ඩායමට ලබා දුන් ආරම්භයන් සාර්ථක ඒවා විය. එම තරගාවලියේ ඔහුගේ ලකුණු රැස්කිරීම සටහන් වුනේ 50 (76), 38 (37), 104 (113), 91 (99), 100 (106) වශයෙනි.

sportsjuggle.com – ඒරන් ෆින්ච් ද දස්කම් අතරට පැමිණ ඇත.

පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය ද මේ වන විට ඇරඹී ඇති අතර එහි දෙවන එක්දින තරගයේදීත් කවාජා විසින් ලකුණු 88ක් රැස්කරගෙන තිබුණි. ඉන්දියානු සංචාරයේ දී ඔහුගේ අනෙක් අන්තයේ ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් එතරම් දස්කම් අතර සිටියේ නැත. එහෙත් පාකිස්තානයට එරෙහි පළමු එක්දින තරග දෙකේ දී ෆින්ච් ශතක දෙකක් වාර්තා කළේය. එමෙන්ම ස්මිත්ගේ ක්‍රිකට් තහනම අවසන් වන තෙක් එක්දින නායකත්වය හිමි වූයේ ද ඔහුට යි.

මාර්තු මාසය ඇරඹෙන්නට පෙර ක්‍රිකට් අතින් යම් පසුබැස්මකට ලක්ව සිටියත් දැනට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඇති වාසිය නම් ක්‍රීඩකයන්ගෙන් එකා පරයා අනෙකා දක්වන දක්ෂතා ය. ලෝක කුසලානය එළඹෙන මැයි මස දී ඇරඹෙන නිසා ක්‍රීඩකයන් අතර තරගකාරීත්වයක් ඇතිවී තිබේ. කිසිදු පෞද්ගලික අරමුණක් හෝ තරහක් මෙතුළ නැත. ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට වාසිදායක, අතිශයින්ම ධනාත්මක තරගකාරීත්වයකි.

පැට් කමින්ස්ගේ මැදැඟිල්ල කොටවුණු හැටි

ඕස්ට්‍රේලියානු සංචාරයේ දී දරුණු ක්‍රිකට් ගුටි බැට …..

ඩේවිඩ් වෝනර් හට ක්‍රිකට් තහනමක් හිමි වූයේ ඔහු සහ කණ්ඩායමේ ක්‍රීඩකයන් වූ ස්ටීවන් ස්මිත්, කැමරන් බෑන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කිරීමේ චෝදනාවකට වරදකරුවන් වීමෙන් පසුවයි. ඔහුගේ තහනම මේ මස අග දී අවසන් වීමට නියමිතය. විශේෂයෙන්ම ලෝක කුසලානය පැවැත්වෙන්නේ එංගලන්තයේ දී නිසා වේගවත් පැතලි තණතීරු මත දස්කම් දක්වන්නෙකු ලෙස ප්‍රකට වෝනර් හට කවාජාට වඩා අවස්ථාවක් හිමිවේ ද යන ගැටලුව මතුවී තිබේ. දක්ෂතා අතින් ද වෝනර් හොඳ මට්ටමක සිටින බව දේශීය තරග කිහිපයකට සහභාගී වෙමින් වෝනර් විසින් ඔප්පු කොට ඇත.

ඒකට (ලෝක කුසලානය) ගොඩක් කල් තියෙනවා. මට අනුව, බලන්න ඕන ඊළඟ තරග 3 ගැන. වෝනර්ගේ පැමිණීම ගැන මම හිතලාවත් නැහැ. මම විනෝදයෙන් මගේ එක්දින ක්‍රිකට් ක්‍රීඩා කරගෙන යනවා.” කවාජා මෙසේ අදහස් පළකොට තිබුණේ ICC වෙබ් අඩවියටයි.

කවාජා විසින් සහභාගී වූ අවසන් එක්දින තරග 10 දී ලකුණු 50ට වැඩි ඉනිම් 6ක් ඔහු විසින් ක්‍රීඩා කොට ඇත. ඊට ශතක දෙකක්ද ද ඇතුළත් විය. ඔහු විසින් එසේ දස්කම් ඔප්පු කොට තිබිය දී වෝනර්ට ඔහු පරයා යා හැකි එකම අවස්ථාව නම් ලකුණු වේගයයි. කවාජාගේ ප්‍රහාරාත්මක වේගය බොහෝ විට 100කට ආසන්න වේ. ඔහු විසින් ක්‍රීඩා කළ අවසන් එක්දින තරග හතම ක්‍රීඩා කෙරුණේ ද වියළි, දඟපන්දු යවන්නන්ට වඩාත් උචිත තණතීරු මතයි. එහෙත් 100ට එහා ප්‍රහාරාත්මක වේගයක් වාර්තා කළ හැකි පිතිකරුවෙකු වන වෝනර් හට වේගවත් තණතීරු මත දස්කම් දැක්වීමේ වැඩි හැකියාවක් ඇත.

newsapi.com.au – කවාජාට අංක 3 හිමිවුවහොත්?

සමහරක් විට කවාජාව අංක තුනට කැඳවිය හැකි නමුත්, පීටර් හෑන්ඩ්ස්කොම්බ් විසින් අංක තුනෙහිදී ස්ථාවර ඉනිම කිහිපයක්ම ක්‍රීඩා කොට තිබීම නිසා ඔහුව වෙනස් කිරීමට ද තේරීම් කමිටුව දෙවරක් සිතනු ඇත.

නැතහොත් ඒරන් ෆින්ච්ව කණ්ඩායමෙන් ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුවට සිදු වනු ඇත. කෙසේ වුවත් දැනට නම් එය ඔවුන්ට හිසරදයක් වන තරමටම මේ ක්‍රීඩකයන්ගේ දස්කම් ඉහළ මට්ටමකට පැමිණ තිබේ. පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ඉතාම සුදුසු මොහොතේ කණ්ඩායම ඉහළට ගෙනවිත් ඇත. එනම් ලෝක කුසලානයට මාසයකට පෙර හොඳම රිද්මයේ සිටින්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමයි.

සනත් කෑගහන්නේ මොකද? – තෙවැනි ඇසින්

සනත් ජයසූරිය ගැන අප කොතෙකුත් කතා අසා …..

මෙවන් හිසරදයන් තේරීම් කමිටුවට සහ ප්‍රේක්ෂකයන්ට කෙතරම් සනීපදායක හිසරදයන් දැයි ඔබට තේරුම් ගත හැකිය. රටක ක්‍රිකට් දියුණු වීමට අවශ්‍ය වන්නේ කුමන හෝ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ප්‍රකට වීම ය. අදක්ෂතා ප්‍රකට වීම නොවේ. ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ තත්වය මෙසේ තිබිය දී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට ඇති හිසරදය නම් දක්ෂතා අතර නැති කණ්ඩායමක ක්‍රීඩකයන්ගෙන් කුමන ක්‍රීඩකයන් ක්‍රීඩා කළ යුතු දැයි තෝරාගැනීමයි. අපේ තේරීම් කමිටුවට අප පතන්නේ සනීපදායක හිසරදයකි. එනම් ඕස්ට්‍රේලියාවට මෙන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා අතුරින් කුමකට තැන දෙන්නේ ද සොයා ගත නොහැකි තරමට ඇති වන හිසරදයයි.

ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර්ට ක්‍රිකට් තහනම් වීමත් සමඟ ඕස්ට්‍රේලියාව බිමට වැටුණේය. එහෙත් ඔවුන්ගේ ක්‍රිකට් කළමනාකාරිත්වය කෙතරම් ඉහළ මට්ටමක තිබේදයත්, ඔවුන් අද සිටින්නේ දක්ෂතා උතුරා පිටාර ගලන මට්ටමක ය. “කළමනාකාරිත්වය” යන්නෙහි සැබෑ අරුත නම් මෙය නොවේ ද? ඔවුන්ගේ හිසරදය සුව නොවේවා!   

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<