ලෝක ශූරතා ලෝකඩ පදක්කම් ගෙන ආ පැරා වොලී

461
ParaVolley

පැරා ක්‍රීඩා, එසේත් නැත්නම් “ආබාධිතයන් සඳහා වෙන්වූ ක්‍රීඩා”, ලොව සාමාන්‍ය ක්‍රීඩා මෙන්ම ජනාදරයට පත්ව තිබීමට ප්‍රධානතම හේතුව වන්නේ ශරීරවල පවතින නොයෙක් අපහසුතා හෝ අඩුපාඩුකම් නොතකා එම ක්‍රීඩකයන් දක්වන උසස් දස්කම් ය.

ආසියානු ආබාධිත වොලිබෝල් තරගාවලියට තේරීම් තරග ආරම්භ වේ

එළඹෙන ජුනි මස 5 වැනි දා සිට 12 වැනි දා දක්වා චීනයේ ෂැංහයි නුවර දී පැවැත්වීමට නියමිත..

පැරා ක්‍රීඩාවන් අතුරින් පැරා වොලී ක්‍රීඩාව, කණ්ඩායම් ක්‍රීඩාවක් වශයෙන් ප්‍රචලිත ය. ශාරීරික ඌනතා සහිත සහ රහිත ඕනෑම ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට, අදාළ නීතිරීති වලට අනුකූලව මෙම ක්‍රීඩාවේ යෙදිය හැක. එනමුත් ජාත්‍යන්තර, පැරා ඔලිම්පික් සහ ලෝක ශූරතාවයන් සඳහා ක්‍රීඩා කිරීමට නම් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට ශාරීරික අසමබරතාවයක්/ඌනතාවක් තිබීම අත්‍යාවශ්‍ය වේ. මෙය අප දන්නා වොලිබෝල් ක්‍රීඩාවට බොහෝ සමානකම් දක්වන අතර සිටගෙන සහ වාඩිවී කරන පැරා වොලී ක්‍රීඩාවන් වශයෙන් කාණ්ඩ දෙකකට බෙදේ. දිනෙන් දින ලෝකයේ අවධානය දිනා ගනිමින් පවතින මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ද ක්‍රියාත්මක ය.

එසේ ක්‍රියාත්මක වන පැරා වොලී ක්‍රීඩාවේ “සිටගෙන ක්‍රීඩා කරන ඉසව්වෙන්” 2011 ලෝක ශූරතා තරගාවලියේ දී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වූයේ ශ්‍රී ලංකා පැරා වොලී කණ්ඩායමයි.

ශ්‍රී ලංකාවේ පැරා වොලී ක්‍රීඩාව

ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩාවට සම්බන්ධ වී ඇත්තේ 2011 වර්ෂයේදීයි. ‘ආබාධිත වොලිබෝල් සම්මේලනය’ ලෙස පිහිටුවා ගත් පැරා වොලී සම්මේලනය, 2011 වර්ෂයේ දී ජාතික ගෘහස්ථ පැරා වොලී ශූරතා තරගාවලියක් සහ ජාතික බීච් පැරා වොලී තරගාවලියක් සංවිධානය කළ අතර ඉන් තෝරා ගත් දක්ෂ ක්‍රීඩකයන් එකතු කොට 2011 ජාතික කණ්ඩායම නිර්මාණය කරන ලදි. විශේෂයෙන්ම තිස් අවුරුදු යුද්ධයක් පසු කළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවාවල බොහෝ දෙනෙකු ආබාධිත තත්වයට පත්වී තිබීම හේතුවෙන් මීට ක්‍රීඩකයන් තෝරා ගැනීම එතරම් අපහසු නොවීය. එමෙන්ම ඔවුන්ගේ මානසික ශක්තිය ද අන් බොහෝ දෙනෙකුට වඩා ඉදිරියෙන් පැවතීම විශේෂ කරුණකි.

ශ්‍රී ලංකාව තුළ එසේ ඇරඹි පැරා වොලිබෝල් ක්‍රීඩා සම්මේලනයේ වත්මන් සභාපති වන්නේ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මැතිතුමා ය. උප සභාපතිවරු වශයෙන් අමාත්‍ය ශාන්ත බණ්ඩාර සහ තිස්ස වික්‍රමරත්න යන මහත්වරුන් ක්‍රියා කරයි.

“මේ රටේ මේ ක්‍රීඩාවට වැඩි වශයෙන් සම්බන්ධ වෙන්නේ ආරක්ෂක සේවා වල දී ආබාධිත තත්වයට පත් රණවිරුවෝ තමයි. අනෙක් රටවල්වල අය වගේ නෙමෙයි, මොවුන් ආත්ම විශ්වාසය අතින් ඉන්නේ ඉදිරියෙන්. ඒ නිසා තමයි 2011 වසරේ දී කාම්බෝජයේ පැවැත්වුණු ලෝක ශූරතා පැරා වොලී තරගාවලියේ දී ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට ගේන්න හැකිවුණේ.” තිස්ස වික්‍රමරත්න මහතා ThePapare.com සමඟින් එසේ පැවසුවේය.

ආසියානු 23න් පහළ කාන්තා තරගාවලියේ දී ශ්‍රී ලංකාව “C “කාණ්ඩයෙන් තරග වදියි

තායිලන්තයේ නාකොන් රචසිමා හිදී පැවැත්වෙන “දෙවන ආසියානු 23න් පහළ කාන්තා වොලිබෝල් ශූරතාවලිය” සඳහා..

එළඹෙන ජූනි 5 වැනිදා සිට 12 වැනිදා දක්වා චීනයේ දී පැවැත්වෙන ‘2017 පැරා වොලී ඕෂනියා’ (වාඩිවී කරන පැරා වොලී) තරගාවලිය සඳහා නිර්මාණය වන ජාතික කණ්ඩායම තනා ගැනීම වෙනුවෙන් පසුගිය අප්‍රේල් 22 සහ 23 වැනිදා පැවැත්වූ තෝරා ගැනීමේ සැසිවලට ආරක්ෂක සේවාවලින් පමණක් නොව සිවිල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද එක්වී ඇත.

“22 වන දා තිබුණු තෝරා ගැනීමේ සැසි වල දී හොඳ පිරිමි සිවිල් ක්‍රීඩකයන් 5 දෙනෙක් සහ කාන්තා ක්‍රීඩකයන් කිහිප දෙනෙක් දැක ගන්න ලැබුණා. ඔවුන්ව තව පුහුණු කළ යුතුයි. නමුත් රට පුරා මේ ගැන උනන්දුවක් ඇති වන බවට මෙය සාක්ෂියක්.” වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

පැරා වොලී ක්‍රීඩාවේ තාක්ෂණික පදනම කුමක් ද?

මේ, පැරා වොලී ක්‍රීඩාවේ තාක්ෂණික පසුබිම ගැන ඔබට කියන්නට ThePapare.com දරන කෙටි උත්සාහයකි.

ක්‍රීඩක වර්ගීකරණය

ජාත්‍යන්තර තරගාවලි සඳහා ක්‍රීඩකයින්ව වර්ගීකරණයකට ලක් කරනු ලබයි. සාමාන්‍ය වොලිබෝල් ක්‍රීඩාවේ තාක්ෂණික පසුබිමට අනුගත වීමට ඔවුන්ට ඇති ශාරීරික අසමබරතාවයන් පදනම් කර ගනිමින් එය සිදු කරනු ලැබේ.

  • වාඩිවී කරන ගෘහස්ථ සහ වෙරළ පැරා වොලී ක්‍රීඩාව සඳහා – අවම වශයෙන් ආබාධිත (Most physically able) සහ ආබාධිත (Least physically able)
  • සිටගෙන කරන ගෘහස්ථ සහ වෙරළ පැරා වොලී ක්‍රීඩාව සඳහා – අවම වශයෙන් ආබාධිත A (A – Most physically able), අවම වශයෙන් ආබාධිත B (B – Most physically able) සහ ආබාධිත C (C – Least physically able)

වාඩිවී කරන පැරා වොලී ක්‍රීඩාව (Sitting ParaVolley)

courtesy - http://image.112.ua
courtesy – http://image.112.ua

පැරා වොලී ඉසව්වක් වශයෙන් වඩාත්ම ප්‍රචලිතව ඇත්තේ මෙයයි. 1980 ආර්නම් පැරා ඔලිම්පික් උළෙලේ සිට පැරා ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස පිළිගැනීමට ලක්වූ මෙම ක්‍රීඩාව, ලොව පුරා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 55ක් තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,000කට අධික පිරිසක් විසින් වැළඳ ගෙන ඇත.

මීට යොදා ගන්නා වොලිබෝල් පිටිය මී.10ක් දිග, මී.6ක් පළල එකකි. සාමාන්‍ය වොලිබෝල් ක්‍රීඩාවේ නීතිරීති බොහොමයක් මීට ඇතුලත් වන අතර ක්‍රීඩකයන්ගේ පහසුව තකා වෙනස් කළ නීතිරීති කිහිපයක් ද මීට ඇතුලත් ය. ලකුණු 2ක් හෝ ඊට වැඩි පරතරයක් සහිතව ඉක්මණින්ම ලකුණු 25ක් ලබා ගන්නා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලබයි.

මෙහි පිරිමි අංශයෙන් ලොව ඉහළින්ම ශ්‍රේණිගතව ඇති කණ්ඩායම් 5 මෙසේය.

  1. ඉරානය
  2. බ්‍රසීලය
  3. ඊජීප්තුව
  4. බොස්නියා සහ හර්සගොවීනා
  5. ජර්මනිය

කාන්තා

  1. එක්සත් ජනපදය
  2. චීනය
  3. බ්‍රසීලය
  4. යුක්රේනය
  5. නෙදර්ලන්තය      

සිටගෙන කරන පැරා වොලී ක්‍රීඩාව (Standing ParaVolley)

courtesy – army.lk
courtesy – army.lk

1976 ටොරන්ටෝ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිට පැරා ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස පිළිගැනීමට පාත්‍ර වූවත් 2000 වසරේ සිට මෙම ක්‍රීඩාව ඉන් ඉවත්කරනු ලැබීය. උක්ත ක්‍රීඩා දෙකම සංසන්දනයේ දී සාමාන්‍ය වොලිබෝල් ක්‍රීඩාවට වඩාත්ම සමානකම් දක්වන ක්‍රීඩාව මෙයයි.

සමබරතාවය අනුව තනි කකුලෙන් සිටගෙන හෝ ආධාරක කකුලක් සහිතව මෙම ක්‍රීඩාවේ යෙදිය හැකිය.

දැනට මෙහි ක්‍රියාකාරී ශ්‍රේණිගත කිරීම් යාන්ත්‍රණයක් නොමැත.

පසුවදනක්

දැනට ශ්‍රී ලංකාවේ මේ ක්‍රීඩාව පාලනය වෙන්නේ ජාතික පැරා ඔලිම්පික් කමිටුව යටතේයි. එබැවින් ශ්‍රී ලංකාවට ලෝක ශූරතා ලෝකඩ පදක්කමක් පවා ගෙනැවිත් තිබෙන මෙම ක්‍රීඩාවට ලැබිය යුතු ‘විශේෂ සැලකිල්ල’ ඊට ලබා දීමට ඔවුන් අසමත්ව ඇතැයි යමෙකුට තර්ක කළ හැක. ස්වාධීන ආයතනයක් මඟින් පාලනය වන්නේ නම් තවදුරටත් ශ්‍රී ලංකාව වෙත පදක්කම් ගෙන ආ හැකි ක්‍රීඩාවක් ලෙස මෙම ක්‍රීඩාව සැලකිය හැකිවන්නේ ආත්ම විශ්වාසයෙන් සන්නද්ධ ශ්‍රී ලාංකිකයන් ගැන අපට පවතින දැඩි විශ්වාසය හේතුවෙනි.

  තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට