ශා. තෝමස්, විශාඛා පාසල් ටෙනිස් ශූරතා දිනයි

305

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ විශාඛා විද්‍යාලය යලිත් වරක් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ ටෙනිස් ශූරතා දිනා ගන්නට සමත් විය. ඒ අවසන් තරග වලදී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ කාන්තා විද්‍යාලය පරාජය කරමිනුයි. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට අදාලව මෙම ටෙනිස් තරගාවලිය දින 3ක් පුරා පැවතියේ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගනයේ දීයි.

පසුගිය ලිපි: වයඹ පළාත් ක්‍රීඩකයෝ වෙරළේ වැඩ පෙන්වයි

පසුගිය 3 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලියට පාසල් 20ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්විය. 19න් පහල ඉසව්වක් ලෙස පැවති මෙම තරගාවලියේදී එක් වටයකදී කණ්ඩායමක්, කේවල තරග 2කට සහ යුගල තරගයකට සහභාගී වන අයුරින් තරග සංවිධාන කර තිබුණි. ශාන්ත තෝමස් විද්‍යාලය අවසන් පූර්ව වටයේදී තරග 2 – 0  ලෙස කොළඹ ආනන්ද විද්‍යාලය පරදවමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය. ශාන්ත පීතර කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලය තරග 2 – 0ක් ලෙස පරදවමිනුයි.

අවසන් වටයේදී පළමු කේවල තරගයට එක්වූ විරංක ප්‍රනාන්දු ශාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් පළමු ජය වාර්තා කලේ ශා. පීතර ක්‍රීඩක ඉසුරු විජේරත්න ලකුණු 6 – 0ක් සහ  6 – 2ක් ලෙස පරාජය කරමිනුයි. ශා. තෝමස් ක්‍රීඩක අවින්ද්‍ර පෙරේරා තම කණ්ඩායම තරගාවලි ජයග්‍රහණය වෙත ගෙන ගියේ දෙවන කේවල තරගයේදී ලකුණු 6 – 2ක් සහ 6 – 0ක් ලෙස ශා. පීතර විද්‍යාලයේ උදයචන්ද්‍ර ශ්‍රීනාත් පරාජය කරමිනුයි.

බාලිකා අවසන් වටයේදී දක්නට ලැබුනේ කොළඹ විශාඛා ක්‍රීඩිකාවන්ගේ ආධිපත්‍යයයි. විශාඛා විද්‍යාලයේ නෙත්මි වඩුගේ පළමු තරගයේදී අනීකා සෙනෙවිරත්න සමගින් තරග වැදුනි. කොළඹ කාන්තා විද්‍යාලයේ ක්‍රීඩිකාවගෙන් පළමු තරග වටයේදී තරමක අභියෝගයක් එල්ල වුවත් නෙත්මි වැඩි අපහසුවකින් තොරව මේ තරගය ජයගත්තේ ලකුණු 7 – 5ක් සහ 6 – 3 ක් ලෙසිනි. දෙවන කේවල තරගයේදී විශාඛා විද්‍යාලය නියෝජනය කල හසින්දි ලොකුගේ හට කිසිදු අභියෝගයක් එල්ල කරන්නට කාන්තා විද්‍යාලයේ සෙතාරා අඹවත්ත සමත් වුනේ නැත. හසින්දි මේ තරගය ලකුණු 6 – 0 ක් සහ 6 – 0 ක් ලෙස ජය ගන්නට සමත් විය. මේ අනුව බාලිකා අවසන් වටයත් යුගල තරගයක අවශ්‍යතාවෙන් තොරවම ජයගන්නට විශාඛා ක්‍රීඩිකාවන්ට හැකි විය.

විශාඛා විද්‍යාලය මෙන්ම ශා. තෝමස් විද්‍යාලයද මේ වසරේ ජයගත් දෙවන ප්‍රධාන පාසල් ටෙනිස් කිරුල මෙයයි.

බාලිකා තුන්වන ස්ථානය සඳහා පැවති තරගය තරමක් උණුසුම් මුහුණුවරක් ගත්තේ කොළඹ බිෂොප් විද්‍යාලය සහ බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය අතර දෙවන කේවල තරගය තුන්වන වටයේ ලකුණු සමවීමකිනුත් පසුව අවසන් වීම හේතුවෙනුයි. කේවල තරගයකින් සහ යුගල තරගයකින් කණ්ඩායම් දෙක එක් ජයග්‍රහණයක් බැගින් හිමි කරගෙන සිටි අවස්තාවකදී, දෙවන කේවල තරගයේ පළමු තරග වටය ලකුණු 4 – 6 ක් ලෙස ශුද්ධවූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකා ජිනාලි මනම්පේරි පරාජය විය. ජිනාලි දෙවන වටය ලකුණු 6-0ක් ලෙස ජයගත් අතර 3 වන වටය ලකුණු 6 – 6 ක් ලෙස සමවීම හේතුවෙන් තරගයේ තීරණය සඳහා Tie-Breaker අවස්තාවක් දක්වා යාමට සිදුවිය. කෙසේවෙතත් ජිනාලි තම ස්ථාවර ක්‍රීඩා විලාශය මගින් තරග ජයග්‍රහණය සහ තරගාවලියේ 3 වන ස්ථානය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට දිනා දෙන්නට සමත් විය.

තරගයේ අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 4 – 6ක්, 6 – 0ක් සහ 7 – 6 (7)ක් ලෙසිනුයි.

බාලක තුන්වන ස්ථානය සඳහා පැවති තරග වටයේදී කේවල තරග දෙකම ජයගෙන තම කණ්ඩායමට 3 වන ස්ථානය හිමිකර දෙන්නට කොළඹ ආනන්ද විද්‍යාලයේ විබූධ විජේබණ්ඩාර සහ නුවන්ත දිසානායක සමත් විය.

බාලිකා අවසන් තරග ප්‍රතිඵල:

නෙත්මි වඩුගේ (විශාඛා විද්‍යාලය) හමුවේ අනීකා සෙනෙවිරත්න (කාන්තා විද්‍යාලය) පරාජය විය. – 7 – 5, 6 – 3
හසින්දි ලොකුගේ (විශාඛා විද්‍යාලය) හමුවේ සෙතාරා අඹවත්ත (කාන්තා විද්‍යාලය) පරාජය විය – 6 – 0, 6 – 0

බාලක අවසන් තරග ප්‍රතිඵල:

විරංක ප්‍රනාන්දු (ශා. තෝමස් විද්‍යාලය) හමුවේ ඉසුරු විජේරත්න (ශා. පීතර විද්‍යාලය) පරාජය විය. – 6 – 0, 6 – 2
අවීන්ද්‍ර පෙරේරා (ශා. තෝමස් විද්‍යාලය) හමුවේ උදයචන්ද්‍ර ශ්‍රීනාත් (ශා. පීතර විද්‍යාලය) පරාජය විය. – 6 – 2, 6 – 0

බාලිකා 3 වන ස්ථානය සඳහා පැවති තරගය:

විටිනි ද අල්විස් (බිෂොප් විද්‍යාලය) හමුවේ කවීෂා තෙවරප්පෙරුම (ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය) පරාජය විය. – 6 – 2, 6 – 3
තාරා ග්‍රෙග්/ ෆාතුම් ඉසදීන් (ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය) හමුවේ ඉසුනි ධර්මසිරිවර්ධන/ සෙනිති වීරසේකර (බිෂොප් විද්‍යාලය) පරාජය විය. – 6 – 0, 6 – 4
ජිනාලි මනම්පේරි (ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය) හමුවේ සවිනි ජයසූරිය (බිෂොප් විද්‍යාලය) පරාජය විය. – 4 – 6, 6 – 0, 7 – 6 (7)

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට