ඕස්ට්‍රේලියාවට ගිය සංචිතයෙන් කොරෝනා ආසාදිතයෙක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය 2022

70
Kusal Mendis Tested Positive for Covid-19

ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු කුසල් මෙන්ඩිස් හට COVID-19 වයිරසය ආසාදනය වී ඇති බව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී සිදු කළ Rapid Antigen පරීක්ෂාවක් ඔස්සේ තහවුරු වී තිබෙනවා.

කණ්ඩායම් නායක දසුන් ශානක විසින් මේ පිළිබඳව මාධ්‍ය වෙත තහවුරු කරනු ලැබුවේ අද (08) මාර්ග ගත ක්‍රමය (Online) ඔස්සේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දීයි.

එළඹෙන 11 වැනිදා ලෝක ශූර ඕස්ට්‍රේලියාව සමඟ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරග 5කින් සමන්විත තරගාවලිය සඳහා නම් කළ 20 දෙනෙකුගෙන් යුත් සංචිතයට කුසල් මෙන්ඩිස් ද ඇතුළත්ව තිබුණා.

මෙම සංචිතයෙන් වාර්තා වූ තෙවැනි කොරෝනා ආසාදිතයා කුසල් මෙන්ඩිස් වන අතර මීට පෙර වේගපන්දු යවන ක්‍රීඩකයින් වන නුවන් තුෂාර සහ චාමික කරුණාරත්න හට ද වයිරසය ආසාදනය වී තිබුණා.

කෙසේ නමුත් ඔවුන් දෙදෙනා මේ වන විට පූර්ණ වශයෙන් සුවය ලබා ප්‍රථම විස්සයි විස්ස තරගය සඳහා තෝරා ගැනීමට සූදානමින් පසුවන බව දසුන් ශානක මාධ්‍ය හමුවේ දී පවසා සිටියා.

නුවන් සහ චාමිකට අමතරව ශ්‍රී ලංකා සංචිතයේ අන්තර් වාර පුහුණුකරු ලෙස කටයුතු කරන රුමේෂ් රත්නායක සහ පුහුණුකරුවෙකු (trainer) ලෙස කටයුතු කරන ඩිල්ෂාන් ෆොන්සේකා හට ද වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණා.

නුවන් සහ චාමික දෙදෙනා ඉකුත් 5 වැනිදා දිවයිනෙන් පිටත්ව වී මේ වන විට ඕස්ට්‍රේලියාවට ගොස් ශ්‍රී ලංකා සංචිතයේ ජෛව ආරක්ෂිත වටපිටාවට (bio bubble) ඇතුළු වී සිටින අතර රුමේෂ් රත්නායක සහ ඩිල්ෂාන් ෆොන්සේකා දෙදෙනා ද අද රාත්‍රියේ දී ඕස්ට්‍රේලියාවට ළඟා වීමට නියමිතයි.

කුසල් මෙන්ඩිස් 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් නැවතත් ජාතික විස්සයි විස්ස සංචිතය සඳහා කැඳවූ අතර නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු විසින් ලකුණු 327ක් වාර්තා කරමින් වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගන්නට ද සමත් වුනා.

එමෙන්ම සංචිතයෙන් ඉවත් කෙරුණු කුසල් පෙරේරාගේ අඩුව පිරවීමේ වගකීම ද කුසල් මෙන්ඩිස් හට පැවරුණු අතර එතරම් රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් කුසල් මෙන්ඩිස් හට තරගාවලියේ පළමු තරග කිහිපය මඟ හැරී යාමට විශාල සම්භාවිතාවක් තිබෙනවා.

කුසල් මෙන්ඩිස්ට මඟ හැරෙන තරග වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සංචිතයට කැඳවීමට නියමිත බව ද වාර්තා වනවා. ඔහුට අමතරව තවමත් ජාතික සංචිතයට ක්‍රීඩා නොකළ කමිල් මිෂාර ද මෙන්ඩිස්ගේ අඩුව පිරවීම සඳහා විකල්ප ක්‍රීඩකයෙකු වනවා.

තරගාවලියේ පළමු තරග ද්විත්වය සිඩ්නි නුවර දී පැවැත්වීමට නියමිත අතර ඉන්පසුව තරගාවලියේ තෙවැනි තරගය කැන්බරා හිදීත්, සිව්වැනි සහ පස්වැනි තරග මෙල්බර්න් නුවර දීත් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ කාලසටහන

  • පළමු T20 තරගය – පෙබරවාරි 11 – සිඩ්නි
  • දෙවැනි T20 තරගය – පෙබරවාරි 13 – සිඩ්නි
  • තෙවැනි T20 තරගය – පෙබරවාරි 15 – කැන්බරා
  • සිව්වැනි T20 තරගය – පෙබරවාරි 18 – මෙල්බර්න්
  • පස්වැනි T20 තරගය – පෙබරවාරි 20 – මෙල්බර්න්

තරගාවලියේ උණුසුම ඔබට සමීප කරන්නට ThePapre.com සූදානම්, රැඳී සිටින්න ThePapre.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<