ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තෙවැනි ස්ථානය තහවුරු කර ගනී!

Asian Youth Netball Championship 2025

25

ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලිය පසුගිය 27 වැනි දා ආරම්භ වුනා. 

තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වරක් තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා. 

තරගාවලියේ දී ඔවුන්ට සිංගප්පූරුව සහ මැලේසියාව පමණක් අබිබවා යාමට නොහැකි වුනා. 

තරගාවලියේ මූලික වටයේ දී A කාණ්ඩය නියෝජනය කරමින් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමට තරග හතරක් ක්‍රීඩා කිරීමට සිදු වුනා. 

ශ්‍රී ලංකාව 50 – හොංකොං 31 

තරගාවලියේ පළමු තරගයෙන් ම පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනේ හොංකොං ක්‍රීඩිකාවන් ව පරාජය කරමිනුයි. 

මෙහි දී ඔවුන් තරග කාර්තු හතරම (11-9, 15-5, 13-8, 11-9) පහසුවෙන් ජයග්‍රහණය කළා. 

ශ්‍රී ලංකාව 71ඉන්දියාව 30 

එම තරගයෙන් පසුව ශ්‍රී ලංකාවට ඉන්දියාව මුණ ගැසුණා. එම තරගය පෙර තරගයටත් වඩා පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා. 

මෙහි තරග කාර්තු හතර 15-8, 17-9, 21-7, 18-6 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා. 

මැලේසියාව 62ශ්‍රී ලංකාව 40 

තරගාවලියේ පළමු තරග ද්විත්වයම ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉතා හොඳ මානසිකත්වයකින් මෙම තරගයට පිවිසුණු නමුත්, මැලේසියාව තරගයේ පළමු කාර්තුවේ පටන් ම සිය ආධිපත්‍යය විදහා පෑමට සමත් වුනා. 

මෙහි දී මැලේසියානු ක්‍රීඩිකාව විසින් 10-14, 9-11, 8-21, 13-16 ලෙස මෙම තරග වට හතරම පහසුවෙන් ජය ගැනීමට සමත් වුනා. 

තරගාවලියේ සිය අපරාජිත බව අහිමි කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉන් පසුව ප්‍රබල සිංගප්පූරුව සමඟ තරග බිමට පිවිසුණා. 

ශ්‍රී ලංකාව 19සිංගප්පූරුව 62 

මෙම තරගයේ දී සිංගප්පූරුව හමුවේ දරුණු පරාජයක් අත් විඳීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර, 16-03, 14-04, 16-04, 16-08 ලෙස ලකුණු පුවරුවේ සටහන් වෙමින් තරගයේ කාර්තු හතර නිමාවට පත් වුනා. 

මින් අනතුරුව A කාණ්ඩයේ පළමු ස්ථානය හිමි කර ගත් සිංගප්පූරුව සෘජු ව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා අතරේ, සිංගප්පූරුවේ ප්‍රතිවාදියා ලෙස අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ මැලේසියාව නැවතත් අවසන් පූර්ව තරගයකට සහභාගී වුනා. 

කෙසේ වෙතත් තරගාවලියේ දෙවැනි වතාවටත් මැලේසියාව හමුවේ පරාජය වැළඳ ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර, එහි අවසන් ලකුණු තත්වය 62-31ක් ලෙස සටහන් වුනා. 

මේ අනුව සිංගප්පූරුව සහ මැලේසියාව මෙවර ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. මේ අතර ශ්‍රී ලංකාවට තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් නැවත තරග වැදීමට සිදු වූ අතර, මෙවර හොංකොං කණ්ඩායම ඔවුන්ගේ ප්‍රතිවාදියා බවට පත් වුනා. 

ශ්‍රී ලංකාව 51 – හොංකොං 43 

මෙම තරගයේ පළමු කාර්තු දෙක තුළ ලකුණු 17-9ක් ලෙස සහ 13-11ක් ලෙස පෙරමුණ ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී නැවත තරගයට අවතීර්ණ වීමට උත්සාහ ගත් හොංකොං ක්‍රීඩිකාවන් ඉතිරි කාර්තු දෙක 11-12ක් ලෙස සහ 10-11ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් තරගය ජය ගැනීමට තරම් එය ප්‍රමාණවත් වුනේ නැහැ. 

මේ අනුව 2023 වසරේ දී මෙන්ම මෙවරත් ශූරතාවලියේ තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා. 

දෙස්, විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<