මාස 7ක් අපි පුහුණු වුනේ අද තරගයට – ජාතික වොලිබෝල් පුහුණුකරු

877

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මේ දිනවල පැවැත්වෙන පළමුවැනි ආසියානු පිරිමි වොලිබෝල් අභියෝගතා කුසලානය පැවැත්වෙන්නේ රටවල් 8ක් අතරයි. ඒ ආසියානු ශ්‍රේණිගත කිරීම්වල 9 සිට 16 වැනි ස්ථානවල පසුවන කණ්ඩායම්වල සහභාගීත්වයෙනි. මෙම තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් දෙක, ලබන වසරේ පැවැත්වෙන ආසියානු වොලිබෝල් ශූරතාවය සඳහා සුදුසුකම් ලබනු ඇත.

UAE අසරණ කරමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

ආසියානු වොලිබෝල් සංගමයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා ඩයලොග් 4G..

තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ දෙකක් ඔස්සේ පැවති අතර ඊයේ (19) අර්ධ අවසන් පූර්ව වටයේ තරග පැවැත්විය. ඊයේ පැවති තරගවලින් ජයගෙන සවුදි අරාබිය, ශ්‍රී ලංකාව, ඉරාකය සහ බංගලාදේශය අවසන් පූර්ව වටය වෙත ප්‍රවිෂ්ට විය. ඒ අනුව අද (20) පැවැත්වෙන තරග දෙකෙන් ජය ගන්නා කණ්ඩායම් ද්විත්වයට ලබන වසරේ පැවැත්වෙන ආසියානු ශූරතාවය වෙත සහභාගී වීමට හැකි වනු ඇත. මෙම තරගාවලියේ සියලුම තරග පැවැත්වෙන්නේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ය.

ඊයේ (19) පැවති අර්ධ අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදි කණ්ඩායම වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. එම තරගයෙන් 3-0ක් ලෙසින් ජයගෙන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි විය.

තරගය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළ අතර එමීර් ක්‍රීඩකයන් ද ශ්‍රී ලංකාවට සටනක් ලබා දෙන්නට සමත් විය. ආබාධ හේතුවෙන් ඊයේ දිනයේ දී සවුදි අරාබියට එරෙහිව ක්‍රීඩා නොකළ ක්‍රීඩකයන් සියලු දෙනාම මෙම තරගයට ක්‍රීඩා කළහ.

තරගයේ වට තුනෙහි ප්‍රතිඵල දැක්වුණේ 25-20ක්, 25-17ක් සහ 25-15ක් ලෙසින්ය. ඊයේ තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත සිය අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ පුහුණුකරු ඩෙජාන් වුලිසෙවිච් මහතා මෙසේ අදහස් දැක්විය.

“තරගයේ පළමුවැනි වටයේ දී අපි අතින් වැරදි කිහිපයක් සිදු වුනා. අපේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරේ පොඩි චකිතයකින්. ඒකට හේතුව තමයි මේ තරගය පැරදුනොත් අපිට තරගාවලියෙන් ඉවත් වෙන්න සිදුවන නිසා. නමුත් පළමුවැනි වටයෙන් පසුව අපි හොඳට ක්‍රීඩා කරා. විශේෂයෙන්ම තුන්වැනි වටයේ දී.

දීප්ති (දීප්ති රොමේෂ්) පමණයි ආබාධ තත්වයේ සිටින්නේ. ඔහු ක්‍රීඩා කළත් නොකළත් අපි ඒ ගැන වැඩිය හිතන්න අවශ්‍ය නෑ. නමුත් ඔහුව සුවපත් කිරීමට අපේ උපරිම උත්සාහය යොදනවා. මොකද හෙට (20) තමයි අපි මුහුණ දෙන වැදගත්ම තරගය පැවැත්වෙන්නේ. අපි මාස 7ක් පුරාවට පුහුණුවීම් කරා. අපි පුහුණුවීම් කරේ හෙට පැවැත්වෙන තරගය වෙනුවෙනුයි.

අද පැවති තරගය තමයි මේ තරගාවලියේ දී අපි හොඳටම ක්‍රීඩා කළ තරගය. එමීර් කණ්ඩායම තමයි අපිට මේ තරගාවලියේ දී මුණගැසුණ හොඳම කණ්ඩායම.

අපි අපේ උපරිමය හෙට ලබා දෙන්න ඕන. අපි හොඳින් සූදානම් වෙන්න ඕන. අපි හොඳින් පුහුණුවීම් කරන්න ඕන. ඉරාකය (අවසන් පූර්ව වටයේ තරගය පැවැත්වෙන්නේ ඉරාකය සමඟින්) හොඳ කණ්ඩායමක්. ඔවුන් සතුව හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා. හෙට තරගය ගොඩක් අමාරු තරගයක් වෙයි.”

තරගාවලිය ආරම්භයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ සුළු විවේචන තිබුනත් මේ වන විට ශ්‍රී ලංකාව ඔවුන්ගේ උපරිම මට්ටමට පැමිණ තිබේ. ඒ බව මනාව පසක් වන්නේ ඊයේ එමීර් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී ශ්‍රී ලංකාව දැක්වූ දක්ෂතා දෙස බැලූ විටයි.

තරගයේ වට 3 දී ශ්‍රී ලංකාව විසින් ACE (ප්‍රතිවාදී කණ්ඩායමට පන්දුව ලබා ගැනීමට නොහැකිවීම්) මගින් ලකුණු 6ක් ලැබීය. එමීර් ක්‍රීඩකයන් ACE මගින් ලබාගත්තේ ලකුණු දෙකක් පමණි. පිරිනැමීමේ දෝෂ 13ක් එමීර් ක්‍රීඩකයන් විසින් සිදු කළ නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් එය 6කට සීමා කර ගැනීමට සමත් විය. පිරිනමන අවස්ථාවල දී ශ්‍රී ලංකාව විසින් ලකුණු 30ක් ලබාගැනීමට සමත්වන විට එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයන් එමඟින් ලබා ගත්තේ ලකුණු 10ක් පමණි. ඒ අනුව කණ්ඩායම් දෙකෙහි වෙනස්කම් වඩ වඩාත් පැහැදිලිව දිස්වනු ඇත.

අද දිනයේදීත් මෙම දස්කම් මේ ආකාරයෙන්ම පැවතුනහොත් අවසාන මහා තරගය වෙත පිවිසීමට අපගේ ක්‍රීඩකයන්ට හැකිවනු ඇත.

තවමත් ශ්‍රී ලංකාව විසින් නිවැරදි කරගත යුතු කාරනා දෙකක් ඇත. ඉන් පළමුවැන්න නම් සමහර අවස්ථාවල දී ක්‍රීඩකයන් පන්දුව වෙත යාමට උත්සාහ නොකිරීම. මේ පිළිබඳව විස්තර විචාරයේ යෙදෙන ප්‍රවීණ විචාරකයන් ද පැවසුවේ වරක් දෙවරක් නොවේ.

අනෙක් කාරණය බරපතලයි. ඒ ක්‍රීඩකයන් දැලෙහි දැවටීමයි. එමගින් ඊයේ දිනයේ දී ලකුණු 4ක් ප්‍රතිවාදී කණ්ඩායම වෙත ලබා දුන් ශ්‍රී ලංකාව හෙට තරගයේ දී එසේ නොකරනවා නම් හිතකරය. මක්නිසාදයත් දැලෙහි දවටීම අංශ කිහිපයකින්ම දැඩි පාඩුවක් ගෙන දෙන කරුණක් වීමයි.

බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් ශ්‍රී ලංකාවේ පුහුණුකරු ඩෙජාන් වුලිසෙවිච් මහතා

නරඹන්න පැමිණෙන්න

Dialog ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන්, ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සංවිධානයෙන් සහ Thepapare.com හි පූර්ණ මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන වැදගත්ම තරගය පැවැත්වෙන්නේ අද දිනයේ දී ය. ශ්‍රී ලංකා පුහුණුකරු පැවසූ ආකාරයට අප කණ්ඩායම මාස ගණනාවක් පුරා පුහුණුවීම් සිදුකර තිබෙන්නේ මෙම අවස්ථාව වෙනුවෙන්ය.

>> තරග සියල්ල සජිවීව නරඹන්න මෙතින් පිවිසෙන්න <<

අද උදෑසන 9.50 සිට තරග පැවැත්වෙයි. තරග නැරඹීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන අතර අපගේ ජාතික ක්‍රීඩා ඉතිහාසයේ ඉතා වැදගත් දිනයක දී අපගේ කණ්ඩායම දිරිගැන්වීම සඳහා සියලුම දෙනාගේ සහයෝගය අවශ්‍යම මොහොතකි මේ. තරග ThePapare.com වෙතින් සජීවීව විකාශය කිරීමටත් සියලුම කටයුතු සූදානම් ය.

ශ්‍රී ලංකාව සහ ඉරාකය, කණ්ඩායම් දෙකම ජාත්‍යන්තර වර්ගීකරණයේ පසුවන්නේ 78 වැනි ස්ථානයේය. ඒ අනුව කරට කර, වඩාත් උද්වේගකර තරගයක් නරඹන්නට අද දිනයේ දී හැකි වනු ඇත.

අද දිනයේ දී පැවැත්වෙන තරග සහ වේලාවන්

  • මොන්ගෝලියාව සහ හොංකොං දේශය අතර උදෑසන 9.50 (5 වැනි ස්ථානය සඳහා වූ 1 වැනි අවසන් පූර්ව තරගය)
  • මැලේසියාව සහ එ. අ. එ. රාජ්‍යය අතර දහවල් 1.20 (5 වැනි ස්ථානය සඳහා වූ 2 වැනි අවසන් පූර්ව තරගය)
  • ශ්‍රී ලංකාව සහ ඉරාකය අතර සවස 3.50 (1 වැනි අවසන් පූර්ව තරගය)
  • සවුදි අරාබිය සහ බංගලාදේශය අතර සවස 6.20 (2 වැනි අවසන් පූර්ව තරගය)

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<