CH කණ්ඩායමට යුධ හමුදාවෙන් ප්‍රහාරයක්

493
ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ඊයේ තුරඟ තරඟ පිටියේදී පැවති CH&FC සහ යුධ හමුදා ක්‍රීඩා සමාජ අතර තරගයේ ඡායාරූපයක්. ©ThePapare.com
ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ඊයේ තුරඟ තරඟ පිටියේදී පැවති CH&FC සහ යුධ හමුදා ක්‍රීඩා සමාජ අතර තරගයේ ඡායාරූපයක්. ©ThePapare.com

ඩයලොග් රග්බි ලීග් තරඟාවලියේ දෙවන සතිය අරම්භ කරමින් තුරඟ තරඟ පිටියේදී තරඟ බිමට පිවිසුණු යුධ හමුදා සහ CH&FC කණ්ඩායම් අතර තරඟයේදී 39-12ක් ලෙස ජයග්‍රහණය ලබා ගන්නට යුධ හමුදා ක්‍රීඩකයින් සමත් විය.

පසුගිය ලිපි: හැව්ලොක් සුළඟින් පොලිසිය කඩා වැටේ

CH කණ්ඩායමේ ක්‍රීඩකයින් විනයකින් යුතුව කල්පනාකාරීව ක්‍රීඩා කළේ නම්, තරඟයේ අවසන් තීරණය ඊට වඩා වෙනස් වන්නට තිබුණි. ඉකුත් සතියේදී මහනුවර කණ්ඩායමෙන් තැලී පෙලී සිටි CH ක්‍රීඩකයින් මේ තරඟයේ මිනිත්තු 80 තුළදීම නොසැලෙන ක්‍රීඩා ශෛලියක් පෙන්නුම් කළේය. ප්‍රථම අර්ධයේදී ලකුණු 10ක පරතරයක් තබාගෙන විවේකාගාරය වෙත යාමට යුධ හමුදා කණ්ඩායම සමත් වුවත්, එම අර්ධය තුළ දෙපිලම උරෙන් උර ගැටී ක්‍රීඩා කරන ආකාරයක් දිස්විය.

Photos: CH&FC v Army SC | Dialog Rugby League 2016/17 | #Match 7

දිනයේ ප්‍රථම ලකුණ යුධ හමුදා කණ්ඩායම අඟින් ලියා තැබුවේ ගයාන් සාලින්ද ය. CH ඉදිරි පෙල විසින් වැරදි රැසක් සිදුකිරීමෙන් අනතුරුව ලද පහසු දඬුවම් පහරක් සාලින්දගේ පාදයෙන් ලකුණු බවට හැරිණි (03-00).

සිදු කළ සුළු වැරදි වෙනුවෙන් CH & FC කණ්ඩායමට දඬුවම් ලබා දීමට යුධ හමුදා කණ්ඩායම සමත් වූයේ 10-00ක් ලෙස පළමු මිනිත්තු 15 තුළදීම ඉදිරියක් ලබා ගනිමිනි. පිටියේදී තුවාල ලත් නාලක මධුරංග වෙනුවට පිටියට පිවිසි සුමේධ නානායක්කාර වෙත ප්‍රතිවාදී මීටර 5 සීමාවේදී ලයින් අවුට් අවස්ථාවකදී පන්දුව භාරදුන් යුධ හමුදා ක්‍රීඩකයින් ඔහුව තල්ලු කරගෙන ගොස් උත්සාහක රේඛාව පසු කළේය. සාලින්ද විසින් අතිරේක ලකුණු 2 සාර්ථක කරගනු ලැබිණ (10-00).

තරඟය ඉදිරියට ගලා යාමත් සමඟ CH ක්‍රීඩකයන් පිටියට හුරු වූ බවක් දිස්විය. ඉක්මන් යොමුකිරීම් සහ කල්බලා පන්දුව හුවමාරු කරගැනීම් කිහිපයක් සමඟින් යුධ හමුදා අර්ධය ආක්‍රමණය කරන්නට ඔවුන් සමත් විය. එහෙත් ඊට මැනවින් ප්‍රති උත්තර ලබා දුන් යුධ හමුදා ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුමක් ලබා ගත්තේ තරඟයේ 16 වැනි මිනිත්තුවේදීය. ප්‍රතිවාදී ආරක්ෂක රේඛාවේ හිඩැසක් හඳුනාගත් සුරම්‍ය හේරත් විසින් උත්සාහක රේඛාවේ අභිමුවටම පන්දුව රැගෙන එන ලදී. යුධ හමුදා ඉදිරි පෙල ඊට ඉක්මනින් සහය දැක්වූ අතර අරවින්ද කරුණාතිලක ඔවුන් වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කළේය (17-00).

ප්‍රථම අර්ධයේ දෙවන කාර්තුව තමා සතු කරගත්තේ CH&FC කණ්ඩායමයි. ප්‍රතිවාදීන් බිම දැමීමෙන් හා සංවිධානාත්මක වීමෙන් සාර්ථක වූ ඔවුන්, යුධ හමුදා කණ්ඩායමට මනා පීඩනයක් ගෙන එන්නට සමත් විය. ප්‍රථම අර්ධයේ නිමාවට මොහොතක් තිබියදී නොනවතින උත්සාහයේ ප්‍රතිඵල දකින්නට ඔවුන්ට හැකිවන්නේ මොහොමඩ් රිෆ්කාන් විසින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමත් සමඟය. ෆාරිස් අලි එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය (17-12).

ප්‍රථම අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 17 07 CH&FC ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයේ ප්‍රථම කාර්තුවද තම අණසක යටතට ගන්නට සමත් වූයේ CH කණ්ඩායමයි. ඔවුන් තවත් ලකුණු 5ක් වාර්තා කළේ ඉන් අනතුරුවයි. මීටර 40 සීමාවේදී අනර්ඝ ලෙස ප්‍රතිවාදීන්ව මුලා කළ නායක චානක ෆොන්සේකා, පසුපෙල ධාවකයන්ට උත්සාහක රේඛාව තරණය කිරීමට අවැසි ඉඩකඩ විවෘත කළේය. ජනිත් චන්දිමාල් විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදී (17-12).

එතැන් සිට යළිත් තම අදූරදර්ශී, අලස ක්‍රීඩා ශෛලිය වෙත පසුබැසි CH ක්‍රීඩකයන්ගෙන් පළිගැනීමට කදිම අවස්ථාව එය බව යුධ හමුදා ක්‍රීඩකයන් විසින් හඳුනාගන්නා ලද්දේය. මීටර 10 සීමාවේදී ලත් තවත් ලයින් අවුට් අවස්ථාවක දී CH හි ෆාරිස් අලි ට පන්දුව හරි හැටි දුරකට එල්ල කරගන්නට නොහැකිවීම, තම වාසියට හරවා ගන්නට යුධ හමුදා කණ්ඩායමට හැකිවිය. ප්‍රතිවාදී මොහොමඩ් රිස්වි පිටියෙන් එළියට විසිකොට උත්සාහක දිනුමක් කරා යන්නට ඔවුන් සමත් විය (22-12).

ඉන් මිනිත්තු කිහිපයකට පසුව චමීර සිල්වා විසින් යුධ හමුදාවට 5 වන උත්සාහක දිනුමත් එක්කරන ලදී. CH කණ්ඩායම දිගින් දිගටම වැරදි සිදුකරන අතර ඉන් තම ලකුණු ප්‍රමාණය පහසුවෙන් වැඩි කරගන්නට යුධ හමුදාවට හැකිවිය. සාලින්දගේ ප්‍රවර්තනයත් සාර්ථක විය (29-12).

ප්‍රතිවාදීන්ව දිගින් දිගටම අනතුරේ හෙලන්නට යුධ හමුදා කණ්ඩායම සමත් වූයේ තරඟයේ අවසානයට මිනිත්තු 5ක් ඉතිරිව තිබියදී පවා අභියෝගාත්මක ක්‍රීඩාවක යෙදුනු බැවිනි. තරඟයේ 76 වන මිනිත්තුවේදී චමීර සිල්වා තම දෙවන උත්සාහක දිනුමත් වාර්තා කළේ මනා තාක්ෂණයෙන් යුත් රග්බි දක්ෂතා සමඟින් CH අර්ධය ආක්‍රමණය කරමිනි (34-12).

යුධ හමුදා කණ්ඩායමේ විනෝද් කුමාර් විසින් CH කණ්ඩායමේ රෝහිත රාජපක්ෂට අනතුරුදායක අභියෝගයක් කිරීමත් සමඟ තරමක උණුසුම් තත්වයක්ද ඇතිවිය. දෙපිලම ප්‍රතිවාදීන් සමඟ ගැටුමකට මුල පිරුවත් විනිසුරුගේ මැදිහත් වීමෙන් තත්වය දුරදිග නොගොස් යථා තත්වයට පත්විය. විනෝද් ට කහ කාඩ්පත පිරිනැමිණ. ප්‍රතිවාදියකුගේ බෙල්ල ප්‍රදේශයට පැනීම නිසා CH කණ්ඩායමේ දේවින්ද කොළඹගේ හටත් පිටිය හැර යන්නට නියම කෙරිණි.

අතිරේක කාලයේදී සංජීව හපුගස්කුඹුර විසින් යුධ හමුදා ජයග්‍රහණය තවත් හැඩ ගන්වන්නට සමත් වූයේ යුධ හමුදාව වෙනුවෙන් 6වන උත්සාහක දිනුමත් වාර්තා කරමිනි.

පැහැදිලි ජයග්‍රහණයක් යුධ හමුදා ක්‍රීඩා සමාජයට හිමිවුවත් තරඟයෙන් ධෛර්ය ගොඩනගා ගැනීමට CH&FC කණ්ඩායමට හැකිවන්නට ඇත.

සම්පුර්ණ කාලය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 39 12 CH&FC ක්‍රීඩා සමාජය

ThePapare.com තරඟයේ වීරයා: චමීර සිල්වා (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්:

යුධ හමුදා කණ්ඩායම – චමීර සිල්වා 2T, ගයාන් සාලින්ද 3C 1P, සංජීව හපුගස්කුඹුර 1T, සුමේධ නානායක්කාර 1T, මොහොමඩ් රිස්වි 1T, අරවින්ද කරුණාතිලක 1T.

CH&FC – ජනිත් චන්දිමාල් 1T, ෆාරිස් අලි 1C, මොහොමඩ් රිෆ්කාන් 1T.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට