තුලෙයිබ්ගේ කහ කාඩ්පත කුසලාන සිහිනය බොඳ කරයි

493

හොංකොං නුවර කිංග්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි ශූරතා තරගාවලියේ අවසන් පූර්ව තරගයක් අද (11) පැවති අතර එහි දී අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම 17-22ක් ලෙස පරාජය කළ දකුණු කොරියානු කණ්ඩායම තරගාවලියේ ඉදිරියට යෑමට සමත් විය.

වැසිබර කාලගුණ තත්වයක් යටතේ තරගය ආරම්භ වූ අතර අවසන් පූර්ව වටයේ තරගයක් නිසාවෙන් දෙපිළම ආරම්භයේ සිට දැඩි උද්වේගකර ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරන්නට විය.

තරගය ආරම්භ වී මිනිත්තුවක් ගත වන විට, දැකුම්කළු පාද චලනයන් සහ සිය වේගය මනාව ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා කණ්ඩායම් නායක නවීන් හේනකන්කානම්ගේ විසින් ප්‍රථමයෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකාවට සුබවාදී බලාපොරොත්තු රැගෙන එමිනි. කෙසේ නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හරිත් බණ්ඩාරට නොහැකි විය. (05-00)

ඒ ක්ෂණයෙන් නැවතත් ක්‍රියාත්මක වූ අවිශ්ක ලී තරගයේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වූයේ තරගාවලියේ පෙරමුණ ශ්‍රී ලංකාව වෙත නතු කරමිනි. එහි ප්‍රවර්තනය හරිත් බණ්ඩාර විසින් සාර්ථක කර ගත්තේය. (12-00)

ඉන්පසු දකුණු කොරියාව තරමක් ආක්‍රමණශීලී ලෙස පිටියට අවතීර්ණ වන බවක් පෙනෙන්නට තිබුණු අතර ශ්‍රී ලංකා ආරක්ෂක බැම්ම හරහා රිංගා යමින් කොරියානු ක්‍රීඩක යුසොම්-චෙන්ග් පළමු උත්සාහක දිනුම කොරියාවට දිනා දෙන්නට සමත් විය. කැන්ග් විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (12-07)

ඉන් මිනිත්තු කිහිපයක් ගතවෙත්ම ශ්‍රී ලංකා ක්‍රීඩක ජනිදු ඩිල්ෂාන් මනරම් පා පහරක් ඉදිරියට ලබා දුන් අතර එය මැනවින් ග්‍රහණය කර ගත් ගැමුණු චේතිය තවත් උත්සාහක දිනුමක් ශ්‍රී ලංකාවට දිනා දුන්නේය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (17-07)

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 17 – 07 දකුණු කොරියාව

තරගයේ ඉදිරිය ලබා සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉතා උනන්දුවෙන් පිටියේ ආරක්ෂක බැමි වෙත අවධානය යොමු කරන බවක් පෙනෙන්නට තිබුණු අතර විනිසුරු තීරණ කිහිපයක්ම පිටියේ විවාදයට ලක්වුණු බවක් ද පෙනෙන්නට තිබුණි. නමුත් සියලු බැමි ව්‍යර්ථ කරමින් දකුණු කොරියානු ක්‍රීඩක විවෝ-කිම් දෙවන අර්ධයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (17-12)

තරගයේ අවසන් මිනිත්තුව පෙනෙන මානයේ දී, ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකු වූ තුලෙයිබ් හසන් වෙත කහ කාඩ්පතක් හිමි විය. ඒ තම සීමාව ඉක්මවා ඉදිරියට පැමිණ සිටීම නිසාවෙනි. තරගයේ ස්වභාවය වෙනස් වූ තීරණාත්මක අවස්ථාවත් එයම වූ අතර අවසන් මිනිත්තුවේ දී දකුණු කොරියානු ක්‍රීඩක චා-වෝ තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගය සම කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථක වූ නිසා තරගය අතිරේක කාලය දක්වා දීර්ඝ විය. (17-17)

අතිරේක කාලයේ දී පන්දුවේ ආරම්භක පා පහර ශ්‍රී ලංකාවට හිමිව තිබුණ ද, නැවතත් පන්දුව දකුණු කොරියාවට නතු කර ගත් චා-වෝ තරගයේ ජයග්‍රාහී උත්සාහක දිනුම වෙනුවෙන් වී-වෝ-කිම්ට පන්දුව හුවමාරු කළ අතර ඔහු සාර්ථකව ධවල රේඛාව පසුකර ගියේ ශ්‍රී ලංකා ශූරතා බලාපොරොත්තුවට තිත තබමිනි.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 17 (3T 1C) – 22 (4T 1C) දකුණු කොරියාව

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්

  • ශ්‍රී ලංකාව: ජනිදු ඩිල්ෂාන් 1T, නවීන් හේනකන්කානම්ගේ 1T, අවිශ්ක ලී 1T,  හරිත් බණ්ඩාර 1C
  • දකුණු කොරියාව: යූ-සොම්-චෙන්ග්  1T, චා-වෝ 1T, වී-වෝ-කිම් 2T, කැන්ග්  1C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<