ආසියානු රග්බි සංගමයෙන් ශ්‍රී ලංකාවේ ස්ථානය හෙළි කරයි

285

නවකයන් කිහිප දෙනෙකුගෙන් ද සමන්විතව, නව මුහුණුවරකින් ලෝක කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එහි පළමු අදියරේ දී මුහුණ දීමට සිදුවුනේ එතරම් සුන්දර අත්දැකීමකට නොවේ. හොං කොං සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට සිදු වූ ශ්‍රී ලාංකිකයන් තවදුරටත් චිත්ත සන්තාපයට පත් කරමින් තරගාවලියේ පළමු අදියරෙන් පසු ප්‍රසාද ලකුණු සටහන නිකුත් කර තිබේ.

පළමු අදියරේ පළඟ ශූරතාවය ශ්‍රී ලංකාවට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ප්‍රථම අදියර අද (02) ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව නිමාවට…

ලෝක කුසලාන සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස ද සැලකෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය ආරම්භ වුනේ හොං කොං රාජ්‍යයේ කිංග්ස් පාක් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු පළමු අදියරේ තරගාවලියෙනි. සැප්තැම්බර් 1 සහ 2 දෙදින තුල පැවති මෙම තරගාවලියේ විශේෂත්වය වූයේ වසර තුනකට පසු පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමට කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීමයි.

පසුගිය තරගාවලි තුල දී මෙන් නොව මෙවර තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 12 සිට 8 දක්වා අඩු කර තිබුණි.

හොං කොං සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනයේ පැවැත්වුණු මූලික වටයේ තරග අතරින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුනේ එක් තරගයක් පමණක් ජය ගැනීමට පමණි. අස්ථාවර කණ්ඩායමක ලක්ෂණ ඔවුන් තුලින් දෙවන දිනයේ ද ප්‍රදර්ශනය වූ අතර දෙවන දිනයේ පැවති කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේ දී චීන කණ්ඩායම හමුවේ ඔවුන් පරාජය වූයේ ලකුණු 36-12ක් ලෙසයි.

මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනේ පළඟ අර්ධ අවසන් තරගයට ක්‍රීඩා කිරීමටයි. මේ වසරේ ආසියානු පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියේ ගැනීමට නොහැකි වූ වාඩුව පියවමින් මැලේසියා කණ්ඩායමට එරෙහිව ප්‍රබල දක්ෂතාවක් පෙන්නුම් කළ ශ්‍රී ලාංකිකයන් ලකුණු 45ක් ලබා  එම තරගය ජය ගෙන පළඟ අවසන් මහා තරගයට පිවිසෙන්නට සමත්කම් දක්වන ලදි.

අවසන් තරගයේ දී පිලිපීන කණ්ඩායම ලකුණු 32-19ක් ලෙස පරාජය කරමින් පළඟ ශූරතාවට හිමිකම් කීව ද, පසුගිය වසරේ කුසලාන අවසන් මහා තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් සටන් කළ ශ්‍රී ලංකාවට මෙවර 5 වන ස්ථානයෙන් සෑහීමකට පත් වන්නට සිදු විය.

පසුගිය වසරේ මෙන් නොව මෙවර තරගාවලිය සඳහා සිය සම්පූර්ණ ශක්තිය සහිත කණ්ඩායම ඉදිරිපත් කළ ජපානය කුසලාන ශූරතාව දිනා ගත්තේ පසුගිය වසරේ ශූරයන් වූ සත්කාරක හොං කොං කණ්ඩායම පරාජය කරමිනුයි.

පළමු අදියරෙන් පසු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම සහ ප්‍රසාද ලකුණු සටහන පහත දැක්වේ.

ස්ථානය කණ්ඩායම ප්‍රසාද ලකුණු
1 ජපානය 8
2 හොං කොං 7
3 දකුණු කොරියාව 6
4 චීනය 5
5 ශ්‍රී ලංකාව 4
6 පිලිපීනය 3
7 මැලේසියාව 2
8 චීන තායිපේ 1

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<