මාතර රාහුල විද්‍යාලය රන් සිහ මහා ක්‍රිකට් ගැටුමෙන් ඓතිහාසික ජයක් ලබයි!

15th Battle of Golden Lions 2026

4

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර 15 වැනි වරට පැවැත්වුණු රන් සිහ හටන මහා ක්‍රිකට් තරගයෙන් මාතර රාහුල විද්‍යාලය ඉනිමක ජයක් ලබා ගැනීමට ඊයේ (06) සමත් වුනා. 

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පසුගිය සිකුරාදා (05) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය පන්නිපිටිය ධර්මපාල විද්‍යාල නායකයා සතු වූ අතර, ඔහුගේ තීරණය වුනේ තරගයේ පළමුව පන්දුවට පහර දීමයි. 

ඒ අනුව ක්‍රියාත්මක වූ තරගයේ පළමු ඉනිමේ දී ධර්මපාල විද්‍යාල ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 139ක් පමණයි. මෙහි දී ධර්මපාල ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් නිසලිත සන්දිව් ලකුණු 35ක් ලබාගන්නා අතරේ, රමිරු මන්දීප විසින් ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වුනා.  

මෙහි දී ධර්මපාල ඉනිම බිඳ දැමීමේ ප්‍රධාන හේතු සාධකය වීමට මාතර රාහුල විද්‍යාලයේ හිරුන් මන්යුග සමත් වූ අතර, ඔහු විසින් ලකුණු 48කට කඩුලු 05ක් බිඳ හෙළීමට සමත් වුනා. ඊට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වූ නවිරු නෙත්වන් විසින් ලකුණු 29කට කඩුලු 04ක් බිඳ හෙළීමට සමත් වුනා. 

මින් අනතුරුව තරගයේ පළමු දිනය තුළ ම මාතර රාහුල ක්‍රීඩකයින් සිය පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට අවතීර්ණ වූ අතර, මෙහි දී ඉනිමේ ආරම්භක පිතිකරු යුගලය වූ හිරුන් මන්යුග සහ පවර පබසර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක් රැස් කිරීමට සමත් වුනා. එමෙන්ම පවර ලකුණු 28ක් ලබා පිටියෙන් ඉවත් වීමෙන් පසුව ජනිරු විජයවර්ධන සමඟ එක් වී ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ද ලකුණු 71ක් එක් කිරීමට සහය වූ හිරුන් ලකුණු 75ක් වාර්තා කිරීමට සමත් වුනා. පන්දු 112ක් තුළ වාර්තා වූ මෙම ලකුණු 75 වෙනුවෙන් හතරේ පහර 07ක් අන්තර්ගත වුනා. 

මේ අතර ඉනිමේ 61ක් වැනි පන්දුවාරය වන තෙක් ඉතා සංයමයෙන් සිය ඉනිම ගොඩ නංවමින් රාහුල විද්‍යාලය ලකුණු 275 සීමාවට රැගෙන ඒමට හේතුව වූ ජනිරු විසින් පන්දු 127ක් තුළ ලකුණු 104ක් ලබා ගැනීමට සමත් වූ අතර, එම ඉනිමට හතරේ පහර 08ක් අන්තර්ගත වුනා. 

රාහුල ක්‍රීඩකයින් විසින් පන්දුවාර 62 එක් පන්දුවක් තුළ සිය පළමු ඉනිම ක්‍රියාත්මක කරමින් කඩුලු 07ක් දැවී ලකුණු 276ක් වාර්තා කිරීමට සමත් වෙමින් සිය ඉනුම අත්හිටවීමට තීරණය කළා. ඒ වන විට ධර්මපාල ක්‍රීඩකයින්ගේ පළමු ඉනිමට වඩා ලකුණු 137ක් පෙරමුණේ රැඳීමට රාහුල විද්‍යාලය විසින් සමත් වී සිටියා. 

මේ අනුව පන්නිපිටිය ධර්මපාල ක්‍රීඩකයින් ඊයේ දිනයේ දී තරගය ඉනිමකින් පරාජය නොවී සිටීම වෙනුවෙන් තරග වැදීම අරමුණු කර ගනිමින් පිටියට අවතීර්ණ වූ නමුත්, ඔවුන්ට එම බලාපොරොත්තු ඒ අයුරින් ම ඉටු කර ගැනීමට රාහුල පන්දු යවන්නන් විසින් ඉඩ ලබා දුන්නේ නැහැ. 

මෙහි දී ධර්මපාල ඉනිමේ ඉහළම ලකුණු ලාභියා ලෙස නැවතත් නිසලිත සන්දිව් ලකුණු 37ක් වාර්තා කිරීමට සමත් වූ අතර, සනුග ගමගේ ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් ධර්මපාල විද්‍යාලයීය පිතිකරුවන් අතුරින් ක්‍රීඩකයින් සිව් දෙනෙකු පමණයි ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යා කරා යාමට සමත් වුනේ. 

මෙහි දී නැවතත් රාහුල විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ හිරුන් මන්යුග ලකුණු 35කට කඩුලු 04ක් දවා ගන්නා අතරේ, නදිල් සන්දේශ් විසින් කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුනා. 

හිරුන් විසින් මෙම තරගය තුළ පන්දු යැවීමෙන් කඩුලු 09 දවා ගනිමින් මෙන්ම, පිත්තෙන් ලකුණු 75ක් ලබාගනිමින් ද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වීම විශේෂත්වයක්. 

මේ අනුව මාතර රාහුල විද්‍යාලය විසින් පාසල් දෙක අතර මහා තරග ඉතිහාසයේ පළමු ජය වාර්තා කර ගැනීමට සමත් වුනා. 

එමෙන්ම මීට පෙර 2015 වසරේ දී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට විසින් මෙම මහා ක්‍රිකට් තරගය ජය ගැනීමට සමත් වූ අතර, ඉන් අනතුරුව වසර 11කට පසුවයි නැවතත් රන් සිහ හටන මහා ක්‍රිකට් ගැටුම තීරණයක් සහිතව නිමාවට පත් වුනේ. 

පාසල් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<