කැරම් නිවහන බේරාදෙන්න…

114

මහරගම ප්‍රදේශයෙහි මසකට රු. 40,000ක කුලී පදනමට ලබාගත් ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේ වාරික 7ක් හෙවත් රු. 2,80,000ක මුදලක් මේ වනවිට ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව ‘මව්බිම”ට වාර්තා වේ.

ඒ පිළිබඳව අප වත්මන් කැරම් සම්මේලන ප්‍රධාන විධායක ලෙස කටයුතු කරන රෝහිණී මතායස් මහත්මියගෙන් විමසූ විට ඇය පවසා සිටියේ කැරම් වැනි ක්‍රීඩාවකට අනුග්‍රාහකයන් සොයා ගැනීම ඉතා අපහසු කාරණයක් බැවින් ඔවුන් දැඩි මූල්‍ය අර්බුදයකට හසුවී ඇති බවත් එබැවින් මෙලෙස ගොඩනැඟිල්ලට අදාළ කුලී මුදල් ගෙවා ගැනීමට නොහැකි වූ බවත්ය.

එසේම පසුගිය කාලයේ සිදුකළ වාරික මුදල් ගෙවීමද තම සංගමයට සම්බන්ධ ක්‍රීඩකයන් සහ මිතුරන් එක්ව සිදුකළ දිනුම් ඇදීමක් මඟින් උපයාගත් මුදල් උපයෝගි කරගනිමින් ගෙවා දැමූ බව පැවසූ රෝහිණී මහත්මිය දිගින් දිගටම එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට නොහැකි බවත් පවසා සිටියාය.

කෙසේ වෙතත් කැරම් සම්මේලනය ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් අදාළ මුදල ලබාදෙන බව පවසා තිබුණත් මේ දක්වා එම මුදල නොලැබුණු බවද රෝහිණී මතායස් මහත්මිය ‘මව්බිම’ට පැවැසුවාය.