පැරදුනොත් ‘සෙල්ලම් නැති’ වටය ඇරඹේ

117

‘සිතු දෙය නොම වෙයි, නොසිතු දෙයක්‌ වෙයි’ යනුවෙන් පැරැණි කියමනක්‌ තිබේ. මෙවර ක්‍රිකට්‌ ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ ඇතැම් කණ්‌ඩායම්වලට සිදුවූයේද නොසිතු දෙයක්‌ම සිදුවීමය.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ද ක්‍රීඩකයන් පස්‌දෙනකු ආබාධවලට ලක්‌විය. ක්‍රිකට්‌ ක්‍රීඩාවේ අයිතිකරුවන් වන එංගලන්තයට පළමු වටයෙන්ම ගෙදර යැමට සිදුවිය.

ලෝක කුසලානයේ උණුසුම් වටයට හෙවත් අර්ධ අවසන් පූර්ව වටය ලබන 18 වැනිදා ආරම්භ වන අතර එතැන් සිට එකදිගට තරග තුනක්‌ ජයගන්නා කණ්‌ඩායමට 2015 ක්‍රිකට්‌ කුසලාන සින්නක්‌කර අයිතිය හිමිවේ. එම උණුසුම් වටයේ පළමු සටනේ ප්‍රතිවාදීන් කවුරුන්ද යන්න මේ දිනවල ප්‍රබල මාතෘකාවක්‌ බවට පත්ව තිබේ. කෙසේ වෙතත් 18 වැනිදා පටන් පරාජයක්‌ යනු තරගාවලියෙන් සමුගැනීමට නියත හිමිකමකි.

පැවැති තරගවල ජයග්‍රහණය දෝලනය වූ අයුරු බලා සිටින ලෝක ක්‍රිකට්‌ විශාරදයන් ද මෙවර ශූරයන් කවුරුන්ද යන්න පැවසීම මග හරිමින් අවසන් පූර්ව වටයට එන කණ්‌ඩායම් පිළිබඳව වැඩි යමක්‌ කතා කරයි. ඒ තරමට මෙවර ශූරතාව විවෘතව තිබේ. කෙසේ වෙතත් එහි අයිතිය හෙවත් 2015 ලෝක ශූරතාව නවසීලන්තය, ශ්‍රී ලංකාව, ඔස්‌ටේ්‍රලියාව, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාවට වඩාත් සමීපව ඇති බව බහුතරයගේ මතය වී තිබේ.

පළමු වටයේ සමස්‌ත තරග 42 කින් සමන්විත ලෝක කුසලාන තරගාවලියේ මෙම සටහන තබන මොහොත වන විට ඉතිරිව තිබෙන්නේ තවත් තරග හයක්‌ පමණි. ඒ තරග හය අවසන් වන විට අර්ධ අවසන් පූර්ව වටයේ එකිනෙකාගේ ප්‍රතිවාදීන් ස්‌ථිර වනු ඇත. එහෙත් මෙතෙක්‌ පැවැති තරග අනූව අර්ධ අවසන් පූර්ව වටයට පැමිණෙන කණ්‌ඩායම් අටෙන් හයක්‌ ස්‌ථිර වුවද ‘බී’ කාණ්‌ඩයේ කණ්‌ඩායම් තුනක්‌ අතර ස්‌ථාන දෙකකට තුන්කොන් ගැටුමක්‌ නිර්මාණය වී තිබේ.

‘ඒ’ කාණ්‌ඩයෙන් තරග කළ නවසීලන්තය, ඔස්‌ටේ්‍රලියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අර්ධ අවසන් පූර්ව වටය ස්‌ථාන කලින්ම වෙන්කර ගත්තේය. ‘බී’ කාණ්‌ඩයෙන් ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව මේ වන විටත් අර්ධ අවසන් පූර්ව වටයට පැමිණ සිටියි. එහෙත් ‘බී’ කාණ්‌ඩයෙන් තරග කරන පකිස්‌තානය, අයර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම් තුනෙන් එක්‌ කණ්‌ඩායමකට පළමු වටයෙන් ඉවත්ව යාමට සිදුවනු ඇත. එහි තීරණය ඉදිරි දින කිහිපයේදී තීරණය වේ.

ලබන 15 වැනිදා පැවැත්වෙන අයර්ලන්තය සහ පකිස්‌තානය අතර තරගයෙන් ජය ගන්නා කණ්‌ඩායම සුපිරි අට වටයේ ස්‌ථානය තහවුරු කර ගනියි. එදිනම පැවැත්වෙන එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය සහ කොදෙව්වන් අතර තරග විසඳුමකින් තොරව නිමා වුවහොත් ගැටලුවකින් තොරව අයර්ලන්තයට සහ පකිස්‌තානයට සුපිරි අට වටයට පැමිණීමේ අවස්‌ථාව තිබේ. නැතහොත් කොදෙව්වන් එම තරගය ජයගතහොත් පමණක්‌ අයර්ලන්තය සමග දළ ලකුණු වේගය අනුව සටනක්‌ දී සුපිරි අටට පැමිණීමේ අභියෝගයට මුහුණදිය යුතුව තිබේ.

මේ වන විට ස්‌ථිර නිගමනවලට පැමිණීමට නොහැකි වුවද ශ්‍රී ලංකාවේ අර්ධ අවසන් පූර්ව ප්‍රතිවාදියා බොහෝ දුරට දකුණු අප්‍රිකාව බව පැහැදිලි වේ. ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාව මග හැර යැමට හැකි අවස්‌ථාවක්‌ නිර්මාණය වන්නේ ඔස්‌ටේ්‍රලියාව සහ ස්‌කොට්‌ලන්තය අතර තරග විසඳුමකින් තොරව නිමා වුවහොත් හෝ ඔස්‌ටේ්‍රලියාව එම තරගය පරාජය වුවහොත් පමණි. 

නවසීලන්තයට අර්ධ අවසන් පූර්ව තරගයේදී බොහෝ විට අයර්ලන්තය හෝ කොදෙව්වන් සමග තරග කිරීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතී. ඉන්දියාව අර්ධ අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය සමග තරග කිරීමට නියමිතව තිබුණද හෙට (13 දා) තරගයේදී බංග්ලාදේශය විසින් නවසීලන්තය පරාජය කළහොත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අර්ධ අවසන් පූර්ව තරගයක්‌ පැවැත්වීම ස්‌ථිර වනු ඇත. ඔස්‌ටේ්‍රලියානුවන්ට බොහෝ දුරට අර්ධ අවසන් පුර්ව තරගයේදී පකිස්‌තානය හමුවීමේ වැඩි අවස්‌ථාවක්‌ තිබේ.

පිතිකරුවන් අතර සංගක්‌කාර ඉදිරියටම

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශතක මැෂිමක්‌ බවට පත්ව සිටින කුමාර් සංගක්‌කාර පිට පිටම ලබාගත් ශතක හතරක්‌ සමගින් මුළු ලකුණු 496 ක්‌ ලබා තිබේ. එහි සාමාන්‍ය 124.00 ක්‌ ලෙස සටහන් වද්දී ප්‍රහාරාත්මක වේගය 119.51 ක්‌ ලෙස සටහන් වේ. සංගක්‌කාර පසුපසින් දෙවැනි තැනට පත්ව සිටින තිලකරත්න ඩිල්ෂාන් ශතක 2 ක්‌ සහ අර්ධ ශතක දෙකක්‌ සමගින් මුළු ලකුණු 395 ක්‌ ලබා තිබේ. එහි සාමාන්‍ය 79.00 ක්‌ ලෙස සටහන් වන අතර ප්‍රහාරාත්මක වේගය 98.25 ක්‌ ලෙස සටහන් වේ. ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනාට පිටුපසින් ඉන්දියාවේ ෂිකර් ධවාන් (333), දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස්‌ සහ හෂීම් අම්ලා (307) පිළිවෙලින් තෙවැනි, සිව්වැනි සහ පස්‌වැනි ස්‌ථානවලට පත්ව තිබේ.

පන්දු යවන්නන්ගේ පෙරමුණ ස්‌කොට්‌ලන්තයේ ඩේවිට

ස්‌කොට්‌ලන්තයේ වේග පන්දු යවන ජෝස්‌ ඩේවි මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග පහකදී කඩුලු 14 ක්‌ දවා ගනිමින් පන්දු යවන්නන් අතර පෙරමුණට පැමිණ සිටියි. ඔහුට පිටිපසුසින් නවසීලන්තයේ ට්‍රෙන්ට්‌ බෝල්ට්‌ (13) සහ ටිම් සවුති (13) පසුවේ. ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග කඩුලු 11 ක්‌ ලබා තිබේ.

තරග 36 ක්‌ අවසානයේදී ශතක 29 ක්‌

පිතිකරුවන්ගේ ලෝක කුසලාන තරගාවලියක්‌ බවට පත්ව ඇති මෙවර තරගාවලියේදී මේ වන අවසන්ව ඇති තරග 36 කදී සමස්‌ත කණ්‌ඩායම්වලින් ශතක 29 ක්‌ වාර්තා වී තිබේ. එහිදී වැඩිම ශතක ගණනක්‌ වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්ව තිබේ. එහිදී සංගක්‌කාර (4), ඩිල්ෂාන් (2), තිරිමාන්න (1) සහ මහේල (1) එකතුව ශතක 8 ක්‌ වාර්තා කිරීම කැපීපෙනෙන සිදුවීමකි.