අසේල මදුෂාන් සාන්ත ජෝසප් පිලට විශිෂ්ට ජයක් ගෙනෙයි

267
St.Joseph’s College U18 Football Encounter

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ ආරම්භක තරගයේ දී සාන්ත ජෝසප් පිලේ අසේල මදුෂාන්ගේ ගෝල ත්‍රිත්වයත් සමඟ පෙන්නුම් කළ ප්‍රබල ක්‍රීඩා රටාව නිසාවෙන් කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හමුවේ අති විශිෂ්ට ජයක් වාර්තා කිරීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමඟ වසර විසි එකකට පසු පුනර්ජීවය ලද ගරු පීටර් ඒ පිලායි පියතුමන්ගේ කුසලානය තමන් සතු කර ගැනීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් විය.

18න් පහළ තරගාවලිය සැප්තැම්බර් මාසයේ

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය මඟින් සංවිධානය කරනු ලබන 2017 වසර සඳහා වන වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු තරගාවලිය සැප්තැම්බර් මස 04 වන දින…

සාන්ත ජෝසප් ක්‍රීඩකයින් තරගයේ ආරම්භක මිනිත්තු දහය ඇතුළතම දෙවතාවක් ගෝල වාර්තා කරමින් තමන් සතු කුසලානය රැක ගැනීමේ දැඩි අදිටනකින් ක්‍රීඩා කරන අයුරු දැක ගන්නට ලැබුණි.

image2

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ගෝලයට එක දිගට පහර එල්ල කළ සාන්ත ජෝසප් විද්‍යාලයේ අසේල මදුශාන් හා අනෙකුත් ජෝසප් ක්‍රීඩකයන් එල්ල කළ පහරවල් දෙවතාවක දී ම විශිෂ්ට ලෙස රැක ගැනීමට සාන්ත බෙනඩික්ට් විදුහලේ ගෝල රකින්නා වූ ශැරොන් බ්‍රින්ග්ස්ටන් සමත් වුවද, පෙර සඳහන් කළ අවස්ථා දෙකේ දී ශැරොන් බ්‍රින්ග්ස්ටන් පරාජය කර ගෝල කනු තුලට පහර එල්ල කිරීමට සාන්ත ජෝසප් විද්‍යාලයේ ජී. සී. ප්‍රමන්ත හා චමත් රශ්මිත යන ක්‍රීඩකයන් සමත් වූහ.

සාන්ත ජෝසප් විද්‍යාලයේ මදුෂාන්ගේ ආක්‍රමණ සඳහා හොඳින් මුහුණ දීමට මෙන්ම තම ආක්‍රමණ දියත් කරමින් තරගයට අවතීර්ණ වීමට තරගය ආරම්භයේ සිට මිනිත්තු 20කට  පමණ ආසන්න කාලයක් බෙනඩික්ට් ක්‍රීඩකයන්ට ගත විය. නමුත් තරගයේ පළමු භාගයේ අවසානය කරා ළඟා වෙත්ම තරමක මන්දගාමී තරග විලාසයක් සාන්ත ජෝසප් පිල වෙතින් පෙන්නුම් කෙරුණේ ඔවුන් නිරපරාදේ නිදහස් පහර කිහිපයක්ම අපතේ හරින ලද නිසාය.

ප්‍රථම අර්ධය: සාන්ත ජෝසප් විදුහල 2-0 සාන්ත බෙනඩික්ට් විදුහල

ප්‍රථම භාගයේ දී දිස් වූ සිය පසුබැසුම් තරග රටාවෙන් ඔබ්බට එමින් ඉතා වටිනා අවස්ථා දෙකක් දෙවන අර්ධයේ දී බෙනඩික්ට් ක්‍රීඩකයන් නිර්මාණය කර ගත්ත ද, දුර්වල අවසානයන් නිසා එම අවස්ථා දෙකම ඔවුන්ගෙන් ගිලිහී ගියේය. එම මග හැර ගත් අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගත් විරුද්ධ පිලේ අසේල මදුෂාන් තනිවම අලංකාර ගෝලයක් වාර්තා කරන ලද්දේ බෙනඩික්ට් පසුපෙළ ක්‍රීඩකයන් සිව් දෙනෙකුම නරඹන්නන් බවට පත් කරමිනි.

JoesvBens

තරගය බෙනඩික්ට් විද්‍යාලයීය දෑතින් ගිලිහී යන ලකුණු පෙන්නුම් කරමින් ඉදිරියට ඇදෙද්දීම ශර්වින් ප්‍රනාන්දු හා ශෙනාල් කාවින්ද යන ක්‍රීඩකයන් වෙතින් බෙනඩික්ට් විදුහල ඉදිරියේ ගෝල දෙකක් සටහන් වූයේ තරගයේ 60 වන මිනිත්තුව පමණ වන විට නැවතත් කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය තරගයට අවතීර්ණ කරමිනි.

මෙම ගෝල දෙකත් සමඟින් සාන්ත ජෝසප් ක්‍රීඩකයන් හට යම් තරමක හෝ පීඩනයක් එල්ල කිරීමට බෙනඩික්ට් ක්‍රීඩකයන් සමත් වූ බව දැක ගැනීමට හැකි වූයේ සාන්ත ජෝසප් විද්‍යාලයේ ඉදිරිපෙළ ක්‍රීඩා කරමින් සිටි අසේල මදුෂාන් පසුපෙළ ශක්තිමත් කිරීමේ අරමුණින් මැදපෙළට පසු බැසීමත් සමඟිනි.

තවත් මිනිත්තු 12ක පමණ කාලයක් සාන්ත බෙනඩික්ට් ආක්‍රමණය සාන්ත ජෝසප් ගෝලය වෙතට එල්ල වුවද තරගය සම කරමින් නැවතත් තරගය දෙපිලටම විවෘත කිරීමට අවස්ථාවක් සොයා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ.

කොටහේන සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයන් ආක්‍රමණය දැඩි කරද්දී ඔවුන්ගේ පසුපෙළ හිදැස් විවෘත වීමත් සමඟින් නැවත වතාවක් ක්‍රියාත්මක වූ ජෝසප් විද්‍යාලයේ ඉදිරිපෙළ ක්‍රීඩක ප්‍රමන්ත සිය නම ඉදිරියේ දෙවන ගෝලය සනිටුහන් කළේ පීඩනයට ලක්ව සිටි ජෝසප් ක්‍රීඩකයන්ට අස්වැසිල්ලක් ලබා දෙමිනි. එම ගෝලයත් සමඟින් තරගය පිළිබඳ බලාපොරොත්තු විරහිතව කලකිරීමට ලක්ව සිටි සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ පසුපෙළ හරහා ගොස් බෙනඩික් විදුහලේ ගෝල කනු තුලට පිට පිට දෙවතාවක්ම පහර එල්ල කරමින් සිය නම ඉදිරියේ තවත් ගෝල දෙකක් සටහන් කර ගැනීමට දෙවන භාගයේ ප්‍රථම ගෝලය වාර්තා කළ අසේල මදුෂාන් සමත් වූයේ අවසන් මිනිත්තු කිහිපයේ දී ය.

දෙවන භාගය: සාන්ත ජෝසප් විදුහල මරදාන 6-2 සාන්ත බෙනඩික්ට් විදුහල

ගෝල වාර්තා කිරීම්

සාන්ත ජෝසප් විදුහල වෙනුවෙන්

  • ජී. සී. ප්‍රමන්ත 05’ සහ 73’
  • චමත් රශ්මිත 08’
  • අසේල මදුෂාන් 49’ ,76’ හා 90+2’

සාන්ත බෙනඩික්ට් විදුහල වෙනුවෙන්

  • ශර්වින් ප්‍රනාන්දු 60’
  • ශෙනාල්  කාවින්ද 63’

කහ කාඩ්පත්

සාන්ත ජෝසප් විදුහල

  • ජී .සී. ප්‍රමන්ත 36’
  • ජේසන් ප්‍රනාන්දු 73’
  • අසේල මදුෂාන් 76’

සාන්ත බෙනඩික්ට් විදුහල

  • බ්‍රයන් ප්‍රනාන්දු 26’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට