අසේල සහ සඳුන් EPL පිටියේ දස්කම් දක්වද්දී සහන් වීරයා වෙයි

එවරස්ට් ප්‍රිමියර් ලීගය 2021

2084

මේ දිනවල නේපාලයේ දී පැවැත්වෙන එවරස්ට් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (EPL) තවත් තරග දෙකක දී සඳුන් වීරක්කොඩි, ඩිල්ශාන් මුණවීර, සහන් ආරච්චිගේ සහ අසේල ගුණරත්න යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කැපීපෙනෙන දක්ෂතා දක්වන්නට සමත් වී තිබෙනවා.

වමතින් පිතිකරණයේ නිරත වන වීරක්කොඩි නොකඩවා දෙවැනි වරටත් අර්ධ ශතකයක් වාර්තා කළේ පන්දු 43ක් තුල ලකුණු 73ක් ලබාගෙනයි. එම ඉනිම සඳහා 4 පහර 10ක් සහ දැවැන්ත 6 පහර 3ක් ඇතුළත්.

මේ ඉනිමේ දී ඔහුගේ ප්‍රහාරත්මක වේගය 169.76ක් වුනු අතර ඔහු මීට පෙර පැවති තරගයේ දී පන්දු 41ක් තුල ලකුණු 58ක් ලබා ගැනීමට සමත් වුනා. එම ඉනිමට 4 පහර 2ක් සහ 6 පහර 5ක් ඇතුළත් වුනා.

Biratnagar Warriors දකුණත් ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ඩිල්ශාන් මුණවීර Lalitpur Patriots කණ්ඩායමට එරෙහිව පන්දු 39ක දී ලකුණු 59ක් ලබාගෙන මේ තරගයේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වුනා. මුණවීරගේ ඉනිමට 4 පහර 5ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුනු අතර 151.28ක හොඳ ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන පන්දුවට පහරදීමට මුණවීරට හැකියාව ලැබුණා.

Lalitpur Patriots මේ තරගයේ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 226ක් ලබා ගන්නා විට, Biratnagar Warriors වෙනුවෙන් සාර්ථක ලෙස පන්දුවාර තුනක් ක්‍රියාත්මක කළ මුණවීර ලකුණු 13කට කඩුල්ලක් දවා ගත්තා.

පිට දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ Pokhara Rhinos නියෝජනය කරමින් මෙවර EPL තරගාවලියට සහභාගී වනවා. ඊට අමතරව අසේල ගුණරත්න ද නියෝජනය කරනු ලබන්නේ Pokhara Rhinos කණ්ඩායමයි.

Biratnagar Warriors සහ Pokhara Rhinos අතර පැවති තරගයේ දී Pokhara Rhinos වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන දස්කම් දැක්වීමට අසේල ගුණරත්න සමත් වුනා. ගුණරත්න පන්දු 24ක් තුල 4 පහර 4ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් මේ තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත් අතර සහන් ආරච්චිගේ පන්දු 36ක දී ලකුණු 43ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිම සඳහා 4 පහර 4ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනු අතර පන්දු යැවීමේ දී පන්දුවාර 2ක් තුල ලකුණු 4කට කඩුල්ලක් දවා ගැනීමට ද සහන් සමත් වුනා. අවසානයේ දී Warriors කඩුලු 7කින් පරාජය කළ Rhinos මේ තරගය ජය ගත් අතර තරගයේ වීරයා සම්මානය හිමි වූයේ සහන් හටයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<