අමාෂා සහ අරුණ මීටර් 200 ආධිපත්‍ය රඳවා ගනියි

57 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය 2021

425

මේ දිනවල දේශීය මලල ක්‍රීඩා පිටියෙහි වැඩි අවධානයක් දිනාගත් 57 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවයේ සිව්වැනි දිනයේ තරග ඉසව් අද (25) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. 

දිනයේ වැඩි අවධානයක් දිනාගත් ඉසව්වක් වූ කාන්තා මීටර් 200 අවසන් තරගය තියුණු සටනකින් පසු මේධානි ජයමාන්න (තත් 24.06) පරදවමින් ජයග්‍රහණය කිරීමට අමාෂා ද සිල්වාට හැකි වුනේ තත්පර 24.05ක කාලයකින් තරගය නිම කරමිනුයි. එම තරගය නිමා කිරීමට ගත් කාලය, අමාෂා මීටර් 200 ඉසව්වට වාර්තා කළ පෞද්ගලික හොඳම කාලය වීම ද විශේෂත්වයක්.

කාන්තා මීටර් 200 ඉසව්වේ හිටපු ජාතික ශූරියක වන නදීෂා රාමනායක මෙම තරගයේ තෙවැනි ස්ථානය දිනාගත්තා.

අද දින පැවති තරගයන්ගෙන් තවත් තියුණු මුහුණුවරක් ගත් පිරිමි මීටර් 200 ඉසව්ව තත්පර 21.01ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කිරීමට අරුණ දර්ශනට හැකි වූ අතර මොහොමඩ් සෆාන් එහි දෙවැනි ස්ථානයත්, හිමාෂ එෂාන් තෙවැනි ස්ථානයත් දිනාගැනීමට සමත් වුනා.

ආබාධයක් නිසාවෙන් කෙටි කලකට පසු නැවතත් ධාවන පථයට පැමිණි ඩිල්ෂි කුමාරසිංහ කාන්තා මීටර් 800 ඉසව්ව සිය සුපුරුදු ආධිපත්‍ය පතුරුවමින් ජයගැනීමට සමත් වුනේ මිනිත්තු 2:06ක කාලයකින් තරගය අවසන් කරමින්.

එහි පිරිමි ඉසව්වේ දී ජාතික ශූරයෙකු වන රුසිරු චතුරංග දෙවන තැනට ඇද දමමින් පෙරලිකාර ජයග්‍රහණයක් ලැබීමට හර්ෂ කරුණාරත්නට හැකි වුනේ මිනිත්තු 1:51.06ක කාලයකින් තරග අවසන් කරමිනුයි.

පිරිමි මීටර් 400 කඩුලු පැනීම ඉසව්ව තත්පර 52.35ක කාලයකින් අවසන් කළ අසිත රත්නසේන එහි පළමු ස්ථානය දිනාගන්නා විට මිනිත්තු 1:01.49ක කාලයකින් තරගය අවසන් කළ ශ්‍යාමා දුලානි කාන්තා ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

පිරිමි තුන් පිම්ම ඉසව්වෙහි මීටර් 15.71ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් යුද හමුදා පිටියෙහි කිරුළ දිනාගැනීමට සංජය ජයසිංහ සමත් වුනා.

එමෙන්ම අද උදෑසන වරුවේ පැවති කාන්තා මීටර් 5,000 ඉසව්ව ජයග්‍රහණය කිරීමට ප්‍රවීණ ක්‍රීඩිකා නිලානි රත්නායකට හැකි වූ අතර මෑත කාලයේ දිගු දුර ධාවනයේ ඉහළ දස්කම් පෙන්වූ යොවුන් ක්‍රීඩිකා චාමිනී හේරත් එහි දෙවැනි ස්ථානය දිනාගත්තා.

සවස් වරුවේ පැවති පිරිමි මීටර් 400 අවසන් පූර්ව තරග අතරතුර එම ඉසව්ව ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩකඩක් පැවති යොවුන් ක්‍රීඩක අරුණ දර්ශන හට අවාසනාවන්ත ලෙස ආබාධයක් නිසා තරගයෙන් ඉවත්වීමට සිදුවුනා.

තරගාවලියේ පස්වන සහ අවසාන දිනය වන හෙට දිනයේ (26) තවත් ඉසව් කිහිපයක අවසන් තරග පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සමාප්ති උළෙල ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<