ICC‌ ‌අලුත්‌ ‌නීතියේ‌ ‌වාසියෙන්‌ ‌Chahalගෙන්‌ ‌වාර්තාවක්‌ ‌

735

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නව වාර්තාවක් පිහිටුවීමට ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක Yuzvendra Chahal ඊයේ (04) සමත් වුනා. ඒ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ දීයි. 

ඊයේ දිනයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Ravindra Jadeja පන්දු 23ක් තුල ලකුණු 44ක් රැස්කිරීමට සමත් වුනා.  

ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාර කීපය තුල දී Jadeja සිය පාදයේ මස්පිඬු වේදනාවකින් පීඩා විදිමින් සිටියා. කෙසේ වෙතත් ඔහු පන්දුවට පහර දීමේ නිරත වුන අතර Mitchell Starc ක්‍රියාත්මක කළ 20 වැනි පන්දුවාරයේ දෙවන පන්දුව ඔහුගේ හිසේ දරුණු ලෙස වැදුණා.

ඉන්පසුව, Jadeja යම් මානසික අස්ථාවරත්වයක ලක්ෂණ පෙන්වන බව ඉන්දීය වෛද්‍ය කණ්ඩායම විසින් විනිසුරුවන් වෙත දන්වා තිබූ අතර ඔවුන් පසුව ඒ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය වෙත දන්වා තිබුණා. ඒ අනුව Yuzvendra Chahal ඉන්දීය කණ්ඩායමට Concussion Substitute ක්‍රීඩකයෙකු ලෙස එක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සිය අනුමැතිය ලබා දී තිබුණා.

ලකුණු 162ක් හඹා ගිය ඕස්ට්‍රේලියාව විටෙක කිසිවෙකුටත් නොදැවී ලකුණු 54ක් ලබා සිටි අතර Yuzvendra Chahal සිය පළමු පන්දුවාර දෙක තුල දී ආරම්භක පිතිකරුවා වූ Aaron Finch සහ Steve Smith දවා ගැනීමට සමත් වුනා. එයට අමතරව Matthew Wade ද දවා ගත් ඔහු සිය පන්දු යැවීම නිමා කළේ පන්දුවාර 4ක් තුල ලකුණු 25කට කඩුලු 3ක් දවා ගනිමින්.

ඒ අනුව Concussion Substitute ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක්ව තරගයේ වීරයා වූ පළමු ක්‍රීඩකයා ලෙස Yuzvendra Chahal වාර්තා පොත් අතරට එක්වුනා.

තවත් ක්‍රිකට් පුවත්: 

කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පුහුණුකරු Justin Langer නොසතුටට පත්ව සිටි අතර ඔහු සහ ඕස්ට්‍රේලියානු නායකයා වූ Aaron Finch මෙම තරගය සඳහා තරග තීරක ලෙස කටයුතු කළ David Boon සමඟින් යම් කතාබහක ද නිරත වනු දක්නට  ලැබුණා.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මේ පිළිබඳව අදහස් දක්වමින් Aaron Finch පවසා සිටියේ මෙවන් සිදුවීමක දී ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ විශේෂඥයින්ගේ උපදෙස් ප්‍රශ්න කිරීම සාධාරණ නොවන බවයි.

Jadejaගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වන තක්සේරුව, ඉන්දියාවේ කණ්ඩායම් වෛද්‍යවරයා සහ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ තහනම් උත්තේජක පිළිබඳව වෛද්‍යවරයෙකු වන Abhijit Salvi සහ ඉන්දීය කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා වන Nitin Patel විසින් සිදු කර තිබුණා.

මාධ්‍ය හමුව සඳහා සහභාගී වූ ඉන්දීය ක්‍රීඩක Sanju Samson පවසා සිටියේ ඉන්දීය ඉනිම නිමා කරමින් Jadeja නැවත පැමිණි පසු ඔහුගේ තත්ත්වය විමසූ විට තමන්ට යම් කරකැවිල්ලක් පවතින බවත්, සමබරතාව පවත්වා ගැනීමට අපහසු බවත් Jadeja පැවසූ බවයි. මේ පිළිබඳව ඉන්දීය නායකයා වූ Virat Kohli ද තහවුරු කර තිබුණා.

තරග අතරතුර ක්‍රීඩකයන්ගේ හිසට සිදුවන ආබාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය දැඩි ලෙස අවධානය යොමු කරමින් කටයුතු කරන අතර ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිරීති රැසක් ද ඔවුන් විසින් නිකුත් කර ඇත.

ඒ අනුව ඉන්දීය ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලියේ සෙසු තරග සඳහා Jadeja සහභාගී වීම අවිනිශ්චිත වී තිබේ. 

Concussion Substitute ක්‍රීඩකයා සහ තම කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව Virat Kohli අදහස් දක්වමින් පවසා සිටියේ මෙවර එම නීතිය තම කණ්ඩායමට වාසිදායක වූ බවයි.

තරගය ක්‍රීඩා කළ තණතීරුව Chahal හට වාසිදායක වූ බවත්, වෙනත් දිනයක දී මෙවන් සිදුවීමක් සිදුවුවහොත් ඒ සඳහා ගැළපෙන ආදේශක ක්‍රීඩකයෙකු සොයාගැනීම අපහසු වීමට ඉඩ ඇති බවත් ඔහු පවසා තිබේ.

Chahalගේ පන්දු යැවීමත් සමඟින් ඉන්දියාව පළමු විස්සයි විස්ස තරගය ලකුණු 11කින් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. ඉන්දීය – ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය එළඹෙන 6 වැනිදා පැවැත්වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<