වලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කිසිදා බිඳිය නොහැකි වාර්තාවක් තබයි

245

“2019 සමස්ත ලංකා පාසල් සහය දිවීමේ ශූරතාව” අද (20) ආරම්භ වූ අතර පළමු දිනය අවසන් වන විට තරග වාර්තා 8ක් බිහි කරන්නට ඊට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි විය. තරගාවලිය දින 3ක් පුරාවට කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වෙනු ඇත.

යෝධසිංහ සහ ශෙලින්ඩා සුගතදාසයේ කිරුළු පළඳී

89 වැනි ‘Ritzbury’ ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව අද (12) කොළඹ සුගතදාස…

ඉතිහාසයේ ප්‍රථම වතාවට සහය දිවීමේ ශූරතාවයට “මිශ්‍ර දිගු දුර සහය දිවීමේ ඉසව්ව” නමින් නව ඉසව්වක් ඇතුළත් කර තිබුණි.

නව ඉසව්වේ දී තරගය ආරම්භ කරන ක්‍රීඩකයා මීටර් 800ක දුරක් දිවීමෙන් අනතුරුව දෙවැනි ක්‍රීඩකයාට යෂ්ටි ලබා දෙන අතර ඔහු මීටර් 1000ක දුරක් ධාවනයේ නිරත වෙමින් යෂ්ටිය තෙවැනි ක්‍රීඩකයාට ලබා දෙයි. ඔහු මීටර් 600ක දුරක් ධාවනයේ යෙදෙමින් යෂ්ටිය සිව්වැනි හෙවත් අවසන් ක්‍රීඩකයාට ලබා දෙන අතර ඔහු මීටර් 1200 දුරක් ධාවනයේ යෙදෙමින් ඉසව්ව අවසන් කළ යුතුයි.

මෙය සාමාන්‍ය මිශ්‍ර සහය දිවීම ඉසව්වෙන් වෙනස් වන්නේ එය පැවැත්වෙන්නේ මීටර් 100, 200, 300 සහ 400 යන දුර ප්‍රමාණයන්ගෙන් පමණි. එනම් අවසානයේ ධාවනයේ යෙදෙන ක්‍රීඩකයා මීටර් 400ක දුරක් දිවගොස් ඉසව්ව අවසන් කළ යුතු වේ.

නව ඉසව්වේ ආරම්භය සනිටුහන් වූයේ 18න් පහළ වයස් කාණ්ඩය යටතේ ය. අභිනව ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත් වලල ඒ. රත්නායක විදුහල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසිදා බිඳිය නොහැකි වාර්තාවකට හිමිකම් කීවේ එම ඉසව්ව ජය ගත් ප්‍රථම බාලක සහ බාලිකා කණ්ඩායම් බවට පත්වෙමිනි.

>> පළමු දිනයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න මෙතැනින් <<

විජයග්‍රාහී ඒ. රත්නායක විද්‍යාලයීය 18න් පහළ බාලිකා කණ්ඩායමට ඩී. බී. ගමගේ, එම්. එම්. දිල්රුක්ෂි, සජානි හිරුණිකා සහ වරුණි බුද්ධිමා යන ක්‍රීඩිකාවන් ඇතුළත් වී සිටි අතර ඔවුන් ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළේ මිනිත්තු 10:54.16ක කාලයකින් ඉසව්ව අවසන් කරමිනි.

විජයග්‍රාහී වලල ක්‍රීඩිකාවන්.

නව ඉසව්වේ බාලක අංශයෙන් රන් පදක්කම දිනා ගත් ඒ. රත්නායක විදුහල වෙනුවෙන් අයි. අයි. දහනායක, යූ. කේ. අමරවංශ, ඩී. එස්. කුමාර සහ සී. කේ. වීරසේකර යන ක්‍රීඩකයින් තරග කළ අතර ඔවුන් මිනිත්තු 09:33.8ක කාලයක් වාර්තා කරමින් ඉසව්ව නිමා කළේය.

ජයග්‍රාහී වලල ක්‍රීඩකයින්.

දිනයේ වාර්තා වූ තරග වාර්තා 8ම මීටර් 100×4 ඉසව්වෙන් වාර්තා විය. එම වාර්තා 8න් 6ක්ම පැරණි වාර්තාව අභිබවා ගිය ඒවා වූ අතර වාර්තා දෙකක් පමණක් නව තරගාවලි වාර්තා බවට පත්විය. 

ඒ අනුව වයස අවුරුදු 20න් පහළ මීටර් 100×4 බාලක සහ බාලිකා ඉසව්වන් හි ජයග්‍රහණය හිමිකර ගත්තේ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය සහ රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල නියෝජනය කළ ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් විසිනි.

කෑගලු ක්‍රීඩකයින් තත්පර 42.21ක කාලයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් සමඟින් ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් විය. ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අභිෂේක ලැබූ චමෝද් යෝධසිංහ සහ එස්. එස්. සමරවීර, එම්. ආර්. දසනායක සහ ඩබ්. එච්. රාජපක්ෂ යන ක්‍රීඩකයින් ජයග්‍රාහී කණ්ඩායම නියෝජනය කළේය.

අවුරුදු 20න් පහළ මීටර් 100×4 බාලක ඉසව්වේ රන් පදක්කම දිනූ චමෝද් යෝධසිංහ ඇතුළු කෑගලු ක්‍රීඩකයින්

නිමා වූ ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත් ශෙලින්ඩා ජැන්සන් සහ ෆිල්සා ෆාරුක්, මොනාලි වීරක්කොඩි, නතාලියා මල්පාන යන ක්‍රීඩිකාවන් ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තත් ඉසව්වේ වාර්තාව අභිබවා යන්නට සමත් වූයේ නැත.

අවුරුදු 20න් පහළ මීටර් 100×4 බාලිකා ඉසව්ව ජය ගත් ගේට්වේ පාසලේ ක්‍රීඩිකාවන්

නිමා වූ 89 වැනි ‘Ritzbury’ ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ සමස්ත බාලක ශූරතාව දිනා ගත් බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය නියෝජන කළ පසිඳු මල්ෂාන්, හිරුෂ හෂෙන්, අංජු ප්‍රභාෂ්වර සහ උදිත චිරන්තන යන ක්‍රීඩකයින් තත්පර 42.40ක කාලයක් වාර්තා කරමින් 18න් පහළ පිරිමි මීටර් 100×4 ඉසව්ව ජයග්‍රහණය කළේ තරග වාර්තාවක් ද සමඟිනි. 

සාන්ත පීතර විද්‍යාලයීය 18න් පහළ මීටර් 100×4 බාලක කණ්ඩායම

වත්තල ලයිසියම් විදුහල නියෝජනය කරමින් එම ඉසව්වට සහභාගී වූ චිතාරා වික්‍රමසිංහ, දිල්මි රත්නායක, හිමාශි නවෝද්‍යා සහ ටෙනිෂා ගෝමස් යන ක්‍රීඩිකාවන් ද තරග වාර්තාවක් සමඟින් ඉසව්ව නිමා කරන්නට සමත් විය. ඔවුන් වාර්තා කළ කාලය තත්පර 49.99ක්.

18න් පහළ මීටර් 100×4 බාලිකා ඉසව්ව දිනූ ලයිසියම් ක්‍රීඩිකාවන්

වයස අවුරුදු 12න් පහළ මීටර් 100×4 ඉසව්වේ බාලක අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ගල්කිස්ස විද්‍යාල විද්‍යාලයීය ක්‍රීඩකයින්ට හැකි විය. උලිඳු අභිෂේක්, සිනෙත් නෙත්මික, යසිත් දෙව්රම්, ජයනිදු ජයකොඩි යන ක්‍රීඩකයන් තත්පර 55.73කින් ඉසව්ව නිමා කළේ රන් පදක්කම සහ තරග වාර්තාවක් ද සමඟිනි.

ජයග්‍රාහී ගල්කිස්ස විද්‍යාල විද්‍යාලයීය ක්‍රීඩකයින්

ගල්කිස්සට මදක් නොදුරින් පිහිටි මොරටුව ප්‍රදේශයෙන් 12න් පහළ100×4 බාලිකා  ඉසව්වේ ශූරියන් බිහි විය. එනුකි පෙරේරා, ප්‍රාර්ථනා මෙන්ඩිස්, සයුමි ෆොන්සේකා, උද්‍යා ඉන්ද්‍රරත්න යන ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාමය නියෝජනය කළ ක්‍රීඩිකාවන් තත්පර 57.09කින් ඉසව්ව නිමා කරමින් රන් පදක්කම් ජයග්‍රහණය කරන ලදි.

ආවේ මරියා විද්‍යාලයේ 12න් පහළ ශූරියෝ

මාතර රාහුල විද්‍යාලය සහ කොළඹ මියුසියස් විද්‍යාලයීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් වයස අවුරුදු 14න් පහළ මීටර් 100×4 බාලක සහ බාලිකා ඉසව්වන් තරග වාර්තා සමඟින් ජයග්‍රහණය කළේ පිළිවෙළින් තත්පර 47.60ක සහ තත්පර 52.38ක කාලයක් වාර්තා කරමිනි.

මියුසියස් විද්‍යාලයේ සිඑළි අමරසිංහ, හන්සලි නානායක්කාර, සනුකි ගුණරත්න සහ ලිනුරා තෙන්නකෝන් යන ක්‍රීඩිකාවන් ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණයේ කළේ නව තරගාවලි වාර්තාවක් ද සමඟිනි.

රන් පදක්කම දිනූ කොළඹ මියුසියස් ක්‍රීඩිකාවන්

රන් පදක්කම දිනූ රාහුල විද්‍යාලයීය කණ්ඩායමට ජීවය දුන්නේ මතීෂ බාෂිත, චමරිඳු නුවන්ත, ජනිදු ඉදුවර සහ සනුප ලිත්මිර යන ක්‍රීඩකයින් විසිනි.

මාතර රාහුල විද්‍යාලයේ මීටර් 100×4 කණ්ඩායම

අර්බුද නිමයි! දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දින වෙනසක් නෑ!

මේ වසරේ මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල එළඹෙන දෙසැම්බර් 1 වැනිදා…

වලල ඒ. රත්නායක ක්‍රීඩිකාවන්ගේ ග්‍රහණයට නතු වූ 16න් පහළ මීටර් 100×4 ඉසව්ව තරග  වාර්තාවක් සමඟින් අවසන් කරන්නට සමත් වූයේ තත්පර 50.49ක කාලයක් වාර්තා කරමිනි. දිනිති සමරකෝන්, සඳරේණු සකුන්තලා, තරුෂි කරුණාරත්න සහ සඳුනි ලක්ෂානි එම කණ්ඩායම නියෝජන කළ ක්‍රීඩිකාවන්ය.

16න් පහළ බාලිකා වාර්තාව වලලට රැගෙන ගිය ක්‍රීඩිකාවන්

ඩී. ඒ. තෙමින් ද, සිතුම් ජයසුන්දර, කේ. ටී. හේරත්, සංදේශ හිම්සර යන ක්‍රීඩකයින් 16න් පහළ මීටර් 100×4 ඉසව්වේ බාලක ශූරතාවය කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලට රැගෙන ගියේය. ඒ තත්පර 44.89ක කාලයක් වාර්තා කරමිනි. ඔවුන් පෙර වාර්තාව අභිබවා යාමට සමත් වූයේ නැත.

>> පළමු දිනයේ සම්පූර්ණ ලකුණු සටහන මෙතැනින් << 

තරගාවලියේ දෙවැනි දිනය හෙට (21) පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලු පුවත්, ඡායාරූප, වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<