Photo Story- 98 වැනි ජාතික මලල ක්‍රීඩා සැණකෙළියේ දස්කම් විස්කම්

471

කොරෝනා වසංගතය නිසාවෙන් ක්‍රීඩා කටයුතුවලට තිත තැබීමට සිදු වීමෙන් පසුව පසුගිය වසරේ (2020) පැවති එකම ක්‍රීඩා තරගාවලිය වූයේ 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයයි. එය දෙසැම්බර් මාසය අවසානයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

සෞඛ්‍යාරක්ෂිත නීති අනුගමනය කිරීමට සිදු වීම නිසාවෙන් එම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සීමිත ප්‍රමාණයක් සහභාගි කරගනිමින් සීමිත ඉසව් ප්‍රමාණයක් පමණක් පැවැත්වීමට තීරණය කර තිබුණි.

වසරකට පසුව මලල ක්‍රීඩා පිටියට පැමිණීමෙන් අනතුරුව මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැපී පෙනෙන දස්කම් වාර්තා කිරීමට සමත් වූ අතර එහි දී නොසිතූ තරග අවසානයන් කිහිපයක් ද දැක ගැනීමට හැකි විය.

මෙවර Photo Story ලිපිය වෙන් වන්නේ නිමා වූ 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාව අතරතුර දී කැමරා කාචයන්හී සටහන් වූ සේයා රූ කිහිපයක් වෙනුවෙනි.

  • වාර්තාගත ආරම්භයක් ගෙන දුන් දකුණු ආසියානු ශූරිය 

තරගාවලිය් මුල්ම දිනයේ පැවති කාන්තා දුර පැනීමේ ඉසව්වේ දී මීටර් 6.33ක දස්කමක් දක්වමින් තරගාවලි වාර්තාවක් පිහිටුවමින් ජාතික ශූරිය ලෙස අභිෂේක ලබා ගැනීමට සාරංගි ද සිල්වා සමත් විය.

  • තුන් පිම්ම කිරුළ හසිනිට 

ජාතික ශූරතාවයේ තවත් අවධානය දිනා ගත් ඉසව්වක් වූ කාන්තා තුන් පිම්ම ඉසව්වේ මීටර් 13.07ක දස්කමක් දැක්වූ දකුණු ආසියානු පදක්කම්ලාභී හසිනි ප්‍රබෝධා එම ඉසව්වෙහි ජාතික කිරුළ දිනා ගැනීමට සමත් විය.

  • 800m ජාතික කිරුළ නැවතත් රුසිරුට 

පිරිමි මීටර් 800 ඉසව්වේ දකුණු ආසියානු ශූර ඉඳුනිල් හේරත් තරගය නිමා කිරීමට පෙර තරගයෙන් ඉවත් වීම නිසාවෙන් තරගය මිනිත්තු 1:49.82ක කාලයකින් අවසන් කළ රුසිරු චතුරංග නැවත වරක් එම ඉසව්වේ ජාතික ශූරයා වීමට සමත් විය.

  • ආසියාවේ පෙරමුණ ගත් කාන්තා 800m

තරගාවලියේ පැවති මීටර් 800 කාන්තා ඉසව්ව පිළිවෙළින් මිනිත්තු 2:02.80, 2:03.20 සහ 2:03.53ක කාලයකින් අවසන් කළ ඩිල්ෂි කුමාරසිංහ, නිමාලි ලියනආරච්චි සහ ගයන්තිකා අබේරත්න රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර එම දක්ෂතාවයන් එම වසරේ ආසියාවේ වාර්තා වූ හොඳම කාලයන් 4 අතරට ද එක්ව තිබුණි.

  • තියුණු සටනකින් ජාතික කිරුළ ජය ගත් ගයන්තිකා 

තරගාවලියේ වඩාත් අවධානය දිනා ගත් ඉසව්වක් වූ කාන්තා මීටර් 1500 ඉසව්ව මිනිත්තු 4:17.58ක කාලයකින් අවසන් කළ ගයන්තිකා රත්නායක එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර නිලානි රත්නායක සහ නිමාලි ලියනආරච්චි රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.

  • වසරේ වේගවත්ම මිනිසා හිමාෂ 

තරගාවලියේ උණුසුම්ම ඉසව්ව වූ පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 10.27ක කාලයකින් අවසන් කළ ජාතික ශූර හිමාෂ ඒෂාන් එහි රන් පදක්කම දිනා ගනිමින් තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා වීමට සමත් විය.

  • කාන්තා කෙටි දුර ධාවනයට බලාපොරොත්තු ගෙන ආ අමාෂා 

තරගාවලියේ කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 11.55ක කාලයකින් අවසන් කිරීමට සමත් වූ අමාෂා ද සිල්වා වේගවත්ම ක්‍රීඩිකාව වීමට සමත් වූ අතර ඇය තරගය නිමා කිරීමට ගත කළ කාලය 2006 වසරෙන් පසු මෙරට දී ක්‍රීඩිකාවක් වාර්තා කළ වේගවත්ම කාලය ලෙස ද සටහන් විය.

  • සුපිරි නැවත පැමිණීමක් සටහන් කළ නදීෂා 

කෙටි විරාමයකට පසුව පිටියට පිවිසි නදීෂා රාමනායක තරගාවලියේ කාන්තා මීටර් 200 ඉසව්ව තත්පර 24.15ක කාලයකින් ජය ගැනීමට සමත් වූ අතර කාන්තා මීටර් 400 ඉසව්වෙහි දකුණු ආසියානු ශූරිය වූ ඩිල්ෂි කුමාරසිංහ පරාජය කරමින් ජාතික ශූරිය වීමට ද ඇය සමත් විය. (තත්පර 53.47) 

  • චෝදනාවන්ට හැකියාවෙන් පිළිතුරු දුන් කාලිංග  

තහනම් උත්තේජක චෝදනාවන් නිසවෙන් කලක් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වූ කාලිංග කුමාරගේ තරගාවලිය ආරම්භයේ දී ම මීටර් 200 ඉසව්ව තත්පර 20.79ක කාලයකින් අවසන් කරමින් තරගාවලියේ මුල්ම රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

පසුව තරගාවලියේ පැවති අවසාන ඉසව්ව වූ පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කළ ඔහු තරගය තත්පර 46.25ක කාලයකින් අවසන් කරමින් දකුණු ආසියානු ශූර අරුණ දර්ශන ද අභිබවමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

වසරකට පසුව පැවති මුල්ම තරගාවලිය වූවද මෙරට යොවුන් සහ ප්‍රවීණ ක්‍රීඩිකාවන් සියල්ලම එකිනෙකාට නොදෙවෙනි දස්කම් දැක්වීමට සමත් වීම කැපී පෙනුන අතර එය ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ අනාගතයට සුබවාදී ලකුණකි.

තවත් Photo Story ලිපියක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්

.>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්රීඩා පිටුවට <<