ඉන්දීය බලාපොරොත්තු සුන් කරමින් T20 ලෝක කුසලානය UAE වලට?

164

COVID-19 වසංගතය දරුණු ලෙස පැතිර යෑම නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමන්නට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (4) තීරණය කර තිබුණා. 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය ද හිමිව තිබෙන්නේ ඉන්දියාවටයි.

IPL තරගාවලියේ ජෛව බුබුළ තුළ COVID-19 ආසාදනය වූ රෝගීන් වාර්තා වීම IPL තරගාවලිය කල් දැමීමට හේතුවයි. ESPNcricinfo වාර්තා කරන අන්දමට ICCය ඉන්දියාව තුළ තත්වය සමීපව නිරීක්ෂණය කරන අතර ඉන්දියාව වෙනුවට එක්සත් අරාබි එමීර් වෙත 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමි වීමට ද ඉඩ තිබෙනවා. 

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා කණ්ඩායම් 16ක් සහභාගී වීමට නියමිත අතර එළඹෙන ඔක්තෝබර් – නොවැම්බර් කාලසීමාවේ දී තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

මීට දින කිහිපයකට පෙර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා යොදා ගන්නා ක්‍රීඩාංගණ නවයක් පිළිබඳ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ICCය දැනුවත් කර තිබුණා. මේ ක්‍රීඩාංගණවල වත්මත් තත්වය හා ජෛව ආරක්‍ෂිත ලෙස ක්‍රීඩා කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට පසුගිය අප්‍රේල් 26 වැනිදා ICC බලධාරීන් ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබුණා. 

කෙසේ වෙතත් ඉන්දියාවේ වත්මන් තත්වය මත එක්සත් අරාබි එමීර් ඉන්දියාවට සංචරණ සීමා පැනවීම නිසා ඔවුන්ට ඉන්දියාවට යන්නට ඉඩක් ලැබුණේ නැහැ.

ඉන්දියාව තුල පැතිර යන COVID-19 දෙවන රැල්ල නිසා ඉන්දියාව තුළ COVID ආසාදිතයින් මිලියන 20 ඉක්මවා ගොස් තිබෙනවා. IPL තරගාවලිය පැවැත්වීම නිවේදනය කළ පසුගිය මාර්තු මාසයේ දී පවා ඉන්දියාවෙන් ආසාදිතයින් වාර්තා වීම ඉතා ඉහළ මට්ටමක පැවතුණා.

පෙර IPL තරගාවලි මෙන් නොව මෙවර තරග පැවැත්වෙන්නේ ක්‍රීඩාංගණ 6ක් පමණක් භාවිතා කරමිනුයි. තරග පැවැත්වීම සඳහා වරකට ක්‍රීඩාංගණ දෙකක් බැගින් භාවිතා කරන්නට ඔවුන් කටයුතු කළා. විස්සයි විස්ස ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය IPL තරගාවලිය යොදා ගන්නට කටයුතු කර තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

IPL ජෛව ආරක්‍ෂිත බුබුළ බිඳ වැටීම පිළිබඳව විදෙස් ක්‍රීඩකයින්, කණ්ඩායම් හා ඔවුන්ගේ රටවල් ද සිය කනස්සල්ල හා පුදුමය පළ කර තිබුණා. රටවල් කිහිපයක්ම ඉන්දියාවට සංචරණ සීමා පනවා ඇත්තේ ඉන්දියාවේ සිට පැමිණෙන සිය රට වැසියන් ද ප්‍රතික්ෂේප කරමින්.

මේ තත්වය මත Royal Challengers Bangalore හා Rajasthan Royals කණ්ඩායම්වල විදේශ ක්‍රීඩකයින් සිව් දෙනෙක් IPL තරගාවලිය අතහැර සිය නිවෙස් වෙත ගියේ අනෙක් විදෙස් ක්‍රීඩකයින්ට ද තත්වයේ බරපතළකම අවබෝධ කර දෙමිනුයි.

එවන් තත්වයක් මඟ හැරීම සඳහා ICCය ගත හැකි සියලුම පියවර ගන්නා බව ඔවුන් පවසා සිටිනවා. IPL තරග කාලසටහන එළිදැක්වීමට දින දෙකකට පෙර ICC ප්‍රධාන විධායක නිලධාරි Manu Sawhney පවසා සිටියේ රටවල් 16ක් එකතු කර ලෝක කුසලානයක් පැවැත්වීම IPL තරගාවලිය පැවැත්වීමට වඩා ඉතා අවදානම් බවයි.

පසුගිය අඟහරුවාදා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරියෙක් පවසා තිබුණේ ලෝක කුසලානය ගැන තීරණයක් ගැනීමට තවත් බොහෝ කාලය තිබෙන බවයි. සාමාන්‍ය තත්වවල දී ICCය වසරකට පමණ පෙර තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳව අවසන් තීරණය ගනු ලබනවා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටින්නේ තරගාවලිය එක්සත් අරාබි එමීර් හිදී පැවැත්වුනත් තරග සංවිධානය තමන්ට හිමි විය යුතු බවයි.

මැයි 1 වැනිදා සිට ඉන්දීය රජය වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාටම COVID එන්නත ලබා දිය යුතු බවට තීරණයක් ගනු ලැබුවා. කෙසේ වෙතත් මේ වන විට ඉන්දියාවේ එන්නත් හිඟයක් ඇතිව තිබෙන අතර එම තත්වය යථා තත්වයට පත් වීමට ජුනි හෝ ජූලි දක්වා කල් ගතවනු ඇතැයි වාර්තා වෙනවා.

ESPNcricinfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<