සසායිගේ ප්‍රහාරය නිසා වැඩිම T20 ලකුණු වාර්තාව ඇෆ්ගනිස්තානයට!

662
Hazratullah Zazai
Photo Credit : BCB

2007 සිට පුරා වසර 9ක් තිස්සේ ලොව වැඩිම විස්සයි විස්ස ලකුණු වාර්තාව රැකගෙන සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ කෙන්යාවට එරෙහිව ලෝක කුසලාන තරගයක් අතරතුරේ දී ලකුණු 260ක් ලබා ගනිමිනි.

වයස 22ක කොලු ගැටයෙකුගෙන් අංක එකේ එක්දින කණ්ඩායමට සංග්‍රහයක්!

කලකට පෙර ක්‍රිකට් ලෝකය දිග් විජය කළ කොදෙව් ක්‍රිකට් කණ්ඩායම මීට වසර කිහිපයකට..

ඉන් අනතුරුව අප මව් රටටම පැමිණි කැන්ගරුවෝ ශ්‍රී ලංකා පිළට හොඳ සංග්‍රහයක් ලබා දෙමින් එම වාර්තාව උදුරා ගන්නට සමත් වූහ. අද එම වාර්තාව ද බිඳ දමා ලොව වැඩිම T20 ලකුණු වාර්තාව තමන් සතුකර ගන්නට ඇෆ්ගනිස්තානය සමත් විය. ඒ අයර්ලන්තයට එරෙහිව කඩුලු 3කට ලකුණු 278ක් රැස්කර ගනිමිනි.

තවමත් ටෙස්ට් තත්ත්වය ලබාගෙන වැඩි කලක් නොමැති මෙම කණ්ඩායම් දෙක අද මුණ ගැසුනේ ඉන්දියාවේ රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. මෙම සංචාරයට පිළිවෙලින් විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 5ක් සහ එක් ටෙස්ට් තරගයක් ඇතුළත්ය. අද ක්‍රියාත්මක වූ දෙවැනි විස්සයි විස්ස තරගය ලකුණු 84කින් ජය ගැනීමත් සමඟ ඇෆ්ගනිස්තානු කණ්ඩායමේ තරගාවලි ජයග්‍රහණය ද ස්ථිර විය. ඔවුන් මුල් T20 තරගය ජය ගත්තේ කඩුලු 5කිනි. අද තරගයේ කාසියේ වාසිය ද ඇෆ්ගනිස්තානු පිළ සතුවූ අතර දෙවරක් නොසිතාම පිත්ත අතට ගන්නට ඔවුහු තීරණය කළහ.

ඒ අනුව ලෝක ක්‍රිකට් පිටියේ දුර්වලම පන්දු යැවීමේ අංශයක් සහිත අයර්ලන්තයට හොඳ හැටි සංග්‍රහ කළ ඇෆ්ගනිස්තානය පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 236ක දැවැන්ත සබඳතාවයක් පිහිටවූහ. මෙය ජාත්‍යන්තර විස්සයි විස්ස තරග වල ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩ නැගුනු ඉහළම ලකුණු සබඳතාවයි. එම වාර්තාවේ හිමිකරු බවට පත්වූයේ ඇෆ්ගනිස්තානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන හස්රතුල්ලා සසායි සහ උස්මාන් ගානියි. පන්දු 48කට පමණක් මුහුණ දුන් ගානි අද ලකුණු 73ක් රැස්කර ගත්තේ හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් එල්ල කරමිනි.

අද ලෝකයේම අවධානය එක් ක්ෂණයකින් තමන් වෙතට හරවාගත් හස්රතුල්ලා සසායි පන්දුවාර 20 පුරාවටම පිටියේ රැඳී සිටිමින් ලකුණු 162ක් ලබා ගත්තේ පන්දු 62ක් පමණක් වැය කරමිනුයි. මෙම සුපිරි ප්‍රහාරය වාර්තා පොත් අතරට එක්වූයේ ලොව දෙවැනි වැඩිම පෞද්ගලික T20 ලකුණු සංඛ්‍යාව ලෙසයි. ඒ අනුව ඒරෝන් ෆින්ච්ගේ වාර්තාව ලකුණු 10ක පරතරයකින් ආරක්ෂා විය.

ශ්‍රී ලංකා එක්දින සංචිතයේ නොසිතූ වෙනස්කම් රැසක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් ..

තවමත් වයස අවුරුදු 20ක් යැයි පැවසෙන සසායි අද දැවැන්ත හයේ පහර 16ක් එල්ල කිරීමට සමත් වූ අතර එය ජාත්‍යන්තර T20 තරගයකදී ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම හයේ පහර සංඛ්‍යාවයි. මෙවර නම් ඕස්ට්‍රේලියානු ප්‍රහාරක ඒරෝන් ෆින්ච්ට ගැලවීමට හැකි නොවූ අතර ඔහු හයේ පහර 14ක් එල්ල කරමින් තබා තිබූ වාර්තාව අද රාත්‍රියේ බිඳ වැටුණි. මීට අමතරව සසායි අද හතරේ පහර 11ක් එල්ල කළ අතර එය වාර්තාවක් අලුත් කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය.

එතකින් නොනැවතුනු මෙම ආක්‍රමණශීලී වමත් පිතිකරුවා T20 තරගයක් තුල වැඩිම හයේ පහර ගණනක් එල්ල කළ කණ්ඩායම බවට ඇෆ්ගනිස්තානය පත් කිරීමට ද මූලිකත්වය ගත්තේය. සසායිගේ හයේ පහර 16 ද ඇතුළුව ඔවුන් අද මුළු හයේ පහර 22ක් එල්ල කිරීමට සමත් වූ අතර ඒ සමඟ බිඳ වැටුනේ කොදෙව්වන් සහ ඉන්දියාව හයේ පහර 21 බැගින් එල්ල කරමින් පිහිටුවා තිබූ වාර්තා ද්විත්වයයි. ඉනිමේ අවසන් පන්දුවාර 4 තුල ඇෆ්ගනිස්තානු ඉනිමේ කඩුලු 3ක් බිඳ වැටුනද ඔවුන්ට ලොව වැඩිම විස්සයි විස්ස වාර්තාව ද තමන් සතුකර ගැනීමට අපහසු නොවීය.

>> සවුතිගේ සුපිරි පන්දුකරණය හමුවේ බංගලින්ගේ සුද හේදෙයි!

අයර්ලන්ත පිළේ පන්දු යැවීම ගැන කතා කිරීමත් වචන නාස්තියක් පමණක් වන අතර ඔවුන් අද තරගයේ වීරයා බවට පත්වූ සසායි ලබාදුන් උඩපන්දු දෙකක් ද බිම අත හරිමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තවමත් ඔවුන් ළදරුවන් බව තහවුරු කර සිටියේය. 10 වැනි පන්දුවාරයේ දී ඔහු ජෝර්ජ් ඩොක්රල් වෙත ලබාදුන් පහසු උඩපන්දුව රැක ගත්තා නම් මෙම වාර්තා කිසිවක් අද ඇෆ්ගනිස්තානු කණ්ඩායමට හිමි නොවනු ඇත. අවසානයේ මෙම අතපසුවීමෙන් ඵල නෙලාගත් සසායි අයර්ලන්ත පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරද්දී ඉන් යන්තමින් හෝ ගැලවුනේ එංගලන්ත ජාතික කණ්ඩායම ද නියෝජනය කර ඇති බෝයිඩ් රෑන්කින් පමණි.

මෙම දැවැන්ත ඉලක්කය පසුපස හඹා යාම ආරම්භ කළ අයර්ලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 126ක් එක් කිරීමට සමත් වූහ. ඇත්තෙන්ම මේ වනවිට අයර්ලන්ත පිළේ නමගිය පිතිකරුවන් දෙදෙනෙකු ලෙස රැඳී සිටින්නේ කෙවින් ඕ’බ්‍රයන් සහ පෝල් ස්ටර්ලින් යන මෙම ක්‍රීඩකයින් දෙදෙනා පමණි. කෙසේවෙතත් ලොව අංක එකේ T20 පන්දු යවන්නා වන රශීඩ් කාන් පන්දුව අතට ගැනීමත් සමඟ ඔවුන්ගේ ගමන අඩාල විය. රශීඩ්ගේ මුල්ම පන්දුවටම ඕ’බ්‍රයන් ලබාදුන් පහසු උඩපන්දුව ඇෆ්ගනිස්තානු පිළ බිම අත හැරියද ඉන් ප්‍රයෝජන ගැනීමට ඔහුට හැකිවූයේ නැත.

ඊලඟ පන්දුවාරයේ දී කෙවින් ඕ’බ්‍රයන් දැවී යනවිට ඔහු රැස් කරගෙන සිටියේ ලකුණු 37ක් පමණි. මීට පෙර අවස්ථා කිහිපයක දී ප්‍රේක්ෂකයින්ගේ අවධානයට ලක්ව ඇති පෝල් ස්ටර්ලින් අද ලකුණු 91ක් ලබා ගනිමින් කණ්ඩායම වෙනුවෙන් යමක් කිරීමට උත්සාහ දැරූවද මුජීබ්ගේ දඟ පන්දුවක් හමුවේ ඔහුගේ ගමන නිමාවිය. දැවී යනවිට පන්දු 50කට මුහුණ දී තිබූ ස්ටර්ලින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් එල්ල කොට තිබුණි. ඔහුට තවත් හතරේ පහර 5ක් එල්ල කිරීමට හැකි වූවානම් ලොව T20 ඉනිමක වැඩිම හතරේ පහර සංඛ්‍යාවේ වාර්තාව තම නම ඉදිරියෙන් සටහන් කර ගන්නට තිබුණි.

එකමුතුකමේ ශක්තිය ලොවට පෙන්වූ සිංහයින්ට ඓතිහාසික ජයක්!

අවසන් වතාවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමක් දකුණු අප්‍රිකාව බලා පියාසර කරන්නේ ලොව ටෙස්ට්…

අයර්ලන්ත ඉනිමේ අවසන් කොටසේ සාකච්ඡාවට බඳුන් කළ යුතු තරමේ විශේෂත්වයක් දකින්නට නොලැබුනු අතර රශීඩ් කාන්ගේ විශිෂ්ට පන්දුකරණය හමුවේ තවත් මැදපෙළ කඩුලු 4ක් බිඳ වැටුණි. අවසානයේ සිමී සිං සහ ස්ටුවර්ට් පොයින්ට්ස් යම් ප්‍රහාරයක් එල්ල කළ නිසා අයර්ලන්තයට ලකුණු 194ක් ලබා ගැනීමට හැකි වුවද ජයග්‍රහණය අසලකටවත් ලඟා වන්නට එය ප්‍රමාණවත් වූයේ නැත. ඒ අනුව ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයින් මෙම තරගය ලකුණු 84කින් ජයගත්තේ T20 තරග වලදී තම කණ්ඩායමේ ශක්තිය ගැන අනෙක් කණ්ඩායම් වලට රතු නිවේදනයක් නිකුත් කරමිනි.

ඇෆ්ගනිස්තානය – කඩුලු 3ක් දැවී ලකුණු 278 (පන්දුවාර 20)

හස්රතුල්ලා සසායි 162*, උස්මාන් ගානි 73, මොහොමඩ් නබී 17, ශෆිකුල්ලා ශෆීක් 7, බෝයිඩ් රෑන්කින් 1/35, පීටර් චේස් 1/43, ජොශුවා ලිට්ල් 1/49.

අයර්ලන්තය – කඩුලු 6ක් දැවී ලකුණු 194 (පන්දුවාර 20)

පෝල් ස්ටර්ලින් 91, කෙවින් ඕ’බ්‍රයන් 37, ශේන් ගෙට්කේට් 24, සිමී සිං 17*, ස්ටුවර්ට් පොයින්ටර් 15*, රශීඩ් කාන් 4/25, මුජීබ් රහ්මාන් 1/30, ෆරීඩ් මලික් 1/45.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<