Home Sinhala ශෙවෝන්ගේ ශතකයෙන් පසුවත් අවසන් තරග සිහිනය ලකුණු 4න් බොඳවෙයි

ශෙවෝන්ගේ ශතකයෙන් පසුවත් අවසන් තරග සිහිනය ලකුණු 4න් බොඳවෙයි

465

අබුඩාබි හිදී පැවැත්වෙන 19න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට තිබූ අවස්ථාව ඊයේ (28) ශ්‍රී ලංකා යෞවනයින්ට අහිමි වුනා.

ඒ ඇෆ්ගනිස්තානය සමඟ පැවති තරගයෙන් ලකුණු 4ක තියුණු පරාජයක් විඳගන්නට සිදුවීමත් සමඟයි. එහි දී කණ්ඩායම් දෙකේම නායකයින් ශතක වාර්තා කරද්දී, ඇෆ්ගන් ක්‍රීඩක Bashir Ahmed අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 7ක් බිඳ දැමුවා.

ඊයේ තරගයේ කාසියේ වාසිය ජය ගත් ඇෆ්ගනිස්තාන නායක Noman Shah මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් වෙත නතුකර ගත්තා. ශ්‍රී ලංකාව ඊයේ තරගයට පිවිස තිබුණේ බංග්ලාදේශය සමඟ අවසන් තරගයේ ක්‍රීඩා කළ කණ්ඩායමේ කිසිදු වෙනස්කමකින් තොරවයි.

ඇෆ්ගනිස්තානය තම කණ්ඩායමේ වෙනස්කම් 3ක් සිදුකර තිබුණේ Ali Ahamad, Yama Arab සහ Noman Momand වෙනුවට Suleiman Arabzai, Nasir Hassan සහ Bashir Ahmed කැඳවමින්. මේ අතරින් Yama Arab යනු පසුගිය තරගයේ ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 4ක් බිඳ හෙළු ක්‍රීඩකයායි.

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්:

  • ශ්‍රී ලංකාව: ශෙවෝන් ඩැනියෙල් (නායක), හිරුන් කපුරුබණ්ඩාර, සිනෙත් ජයවර්ධන, විශේන් හැළඹගේ, දිනුර කළුපහන, හිරාන් ජයසුන්දර, විශ්ව රාජපක්ෂ, මල්ෂ තරුපති, විශ්ව ලහිරු, දුවිඳු රණතුංග, ට්‍රවීන් මැතිව්ස්.
  • ඇෆ්ගනිස්තානය: Noman Shah (නායක), Suleiman Arabzai, Hizbullah Durrani, Sohail Khan, Mohommed Haroon, Khalid Taniwal, Kamran Hotak, Farhad Usmani, Khalel Ahmed, Nasir Hassan, Bashir Ahmed.

ඊයේ දිනයේ ඇෆ්ගනිස්තානය පළමු කඩුල්ලට ලකුණු 25ක් එක් කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. එහි දී Suleiman Arabzai ඉක්මන් ලකුණු 12ක් ලබා දැවී ගියේ විශ්ව ලහිරු කඩුල්ල මුවාකිරීමේ වරදට කළ ඉල්ලීම විනිසුරු පිළිගැනීමත් සමඟයි. Hizbullah Durrani හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ලබාගෙන සිටිද්දී දිනුර කළුපහනට ගොදුරු වුනා.

ගැටලුව වුනේ මෙතැන් පටන් තෙවැනි කඩුල්ල සඳහා Noman Shah සහ Sohail Khan අතරේ ලකුණු 151ක දැවැන්ත සබඳතාවයක් වර්ධනය වීමයි. නායකත්වයේ වගකීම අකුරටම ඉටු කළ Noman Shah ඊයේ දිනයේ අනර්ඝ ශතකයක් වාර්තා කළේ පන්දු 109කට මුහුණ දෙමිනුයි. හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් ඔහු ලකුණු 116ක් ලබා ගත්තා.

තම නායකයාට අනගි සහයක් ලබා දුන් Sohail Khan අර්ධ ශතකයක් වාර්තා කර ගත්තා. පන්දු 71කින් ඔහු ලබා ගත් ලකුණු 52ට හතරේ පහර 4ක් ඇතුළත් වුනා. ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අනෙක් කැපී පෙනෙන ඉනිම ක්‍රීඩා කිරීමට සමත් වුනේ Mohommed Haroon විසිනුයි. ඔහු පන්දු 41කින් වේගවත් ලකුණු 56ක් ලබා ගත්තේ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟින්.

මේ නිසාම ඇෆ්ගනිස්තානයට තමන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 323ක් ලබා ගැනීමට හැකි වුනා. මෙය තරගාවලිය තුල වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. පන්දු යැවීමේ දී දිනුර කළුපහන, විශ්ව ලහිරු සහ විශ්ව රාජපක්ෂ කඩුලු 2 බැගින් දවා ගත්තා.

අවසන් තරගයට පිවිසීමට නම් ලකුණු 324ක දැවැන්ත ඉලක්කයක් කරා යාමට සිදු වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය සාර්ථක වුනේ නැහැ. මුළු ලකුණු සංඛ්‍යාව 12ක් වෙද්දීම සිනෙත් ජයවර්ධන සහ හිරුන් කපුරුබණ්ඩාර යන ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත්ව සිටියා.

මේ අවස්ථාවේ ඉදිරියට ආ ශෙවෝන් ඩැනියෙල් නායකත්වයේ ශතකයක් සමඟින් ශ්‍රී ලංකාවට නැවතත් බලාපොරොත්තු රැගෙන ආවා. මෙම තරගාවලියේ මුල් තරග 3 දී ලකුණු අතරට පිවිසෙන්නට අසමත් වුනත්, ඊයේ දිනයේ ඔහු ලකුණු 140ක් රැස් කරන්නේ පන්දු 115කට පමණක් මුහුණ දෙමින්. කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ශෙවෝන් ඊයේ හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් එල්ල කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් ශෙවෝන් හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙකු අර්ධ ශතකයක් හෝ වාර්තා කර නොගැනීම නිසා මෙම ඉලක්කය හඹා යාම පහසු වුනේ නැහැ. ශෙවෝන් සමඟ සිව්වැනි කඩුල්ලට ශතක සබඳතාවයක් ගොඩ නැගූ දිනුර කළුපහන ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වුනා. ඒ හතරේ පහර සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින්.

ශ්‍රී ලංකා ඉනිම වරෙක ලකුණු 265ට කඩුලු 7ක් බිඳ වැටී අසරණව තිබිය දී විශ්ව රාජපක්ෂ සහ දුවිඳු රණතුංග නැවතත් 8 වැනි කඩුල්ලට ලකුණු 44ක් එක් කරමින් බලාපොරොත්තු ගෙන ආවා. එහි දී විශ්ව රාජපක්ෂ පන්දු 26කින් ලකුණු 26ක් රැස් කරද්දී, දුවිඳු රණතුංග පන්දු 19කින් ඉක්මන් ලකුණු 27ක් රැස් කළා. නමුත් තරගය අවසන් කරන්නට පෙර ඔවුන් දෙදෙනාම දැවී යාම කණගාටුවට කරුණක්.

අවසන් පන්දුවාරයේ දී තරගය ජයගෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය කර තිබුණේ ලකුණු 6ක් පමණක් වුවත්, ඔවුන්ට එහි දී ලබා ගැනීමට හැකි වුනේ එක් ලකුණක් පමණයි. අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ Kamran Hotak එහි දී දුවිඳු රණතුංග සහ ට්‍රවීන් මැතිව්ස් යන ක්‍රීඩකයින් දෙදෙනාම දවා ගැනීම ඊට හේතුවයි.

මේ නිසා තවත් පන්දු 3ක් ඉතිරිව තිබිය දී ම ලකුණු 4ක අමිහිරි පරාජයක් විඳ ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වුනා. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා ඉනිම තනිවම සුණුවිසුණු කර දැමූ Bashir Ahmed ලකුණු 54කට කඩුලු 7ක් දවා ගත්තා. මෙය තරගාවලියේ මේ දක්වා වාර්තා වූ හොඳම පන්දු යැවීමයි.

Result


Afghanistan U19
323/7 (50)

Sri Lanka U19
319/10 (49.3)

Batsmen R B 4s 6s SR
Hezbullah Dorani c Shevon Daniel b Dinura Kalupahana 39 41 3 2 95.12
Suliman Arabzai lbw b Vishva Lahiru 12 7 1 1 171.43
Noman Shah c Shevon Daniel b Vishwa Rajapakse 116 109 13 3 106.42
Sohail Khan c Duvindu Ranathunga b Vishva Lahiru 52 71 4 0 73.24
Mohammad Haroon c Vishen Halambage b Duvindu Ranatunga 56 41 5 1 136.59
Kamran Hotak c Traveen Mathew b Dinura Kalupahana 13 19 0 0 68.42
Nasir Hassan not out 14 7 1 1 200.00
Farhad Usmani b Vishwa Rajapakse 7 5 1 0 140.00
Khalid Taniwal not out 2 2 0 0 100.00


Extras 12 (b 0 , lb 3 , nb 2, w 7, pen 0)
Total 323/7 (50 Overs, RR: 6.46)
Bowling O M R W Econ
Duvindu Ranathunga 9 0 67 1 7.44
Dinura Kalupahana 9 0 76 2 8.44
Vishva Lahiru 10 0 41 2 4.10
Malsha Tharupathi 5 0 38 0 7.60
Vishwa Rajapakse 10 0 56 2 5.60
Traveen Mathew 7 0 42 0 6.00


Batsmen R B 4s 6s SR
Sineth Jayawardena lbw b Bashir Ahmad 0 1 0 0 0.00
Hirun Kapurubandara c Sohail Khan b Bashir Ahmad 2 6 0 0 33.33
Shevon Daniel c Noman Shah b Bashir Ahmad 140 115 10 6 121.74
Vishen Halambage c Hezbullah Dorani b Bashir Ahmad 14 19 2 0 73.68
Dinura Kalupahana c Bashir Ahmad b Nasir Hassan 47 67 2 2 70.15
Hiran Jayasundara c Hezbullah Dorani b Bashir Ahmad 17 31 1 0 54.84
Malsha Tharupathi c Hezbullah Dorani b Bashir Ahmad 18 15 1 1 120.00
Vishwa Rajapakse c Farhad Usmani b Bashir Ahmad 26 26 1 1 100.00
Duvindu Ranatunga b Kamran Hotak 27 19 0 1 142.11
Traveen Mathew lbw b Kamran Hotak 1 3 0 0 33.33
Vishva Lahiru not out 1 1 0 0 100.00


Extras 26 (b 1 , lb 6 , nb 6, w 13, pen 0)
Total 319/10 (49.3 Overs, RR: 6.44)
Bowling O M R W Econ
Bashir Ahmad 10 0 54 7 5.40
Khalil Ahmad 10 0 71 0 7.10
Nasir Hassan 8 0 75 1 9.38
Farhad Usmani 10 0 58 0 5.80
Kamran Hotak 8.3 0 37 2 4.46
Khalid Taniwal 3 0 17 0 5.67



මේ අනුව මූලික වටයේ සියලු තරග අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින් සිටින ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලබා සිටිනවා. ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය තුල ජය ගැනීමට හැකි වුනේ බංග්ලාදේශයට එරෙහිව පැවති එක් තරගයක් පමණයි.

මෙම 19න් පහළ තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (30) පස්වරු 4.30ට අබුඩාබි හිදීම පැවැත්වීමට නියමිතයි. තවත් ක්‍රීඩා තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<