ආකීබ් සහ දිමිත්‍රිගේ ගෝල වර්ෂාවෙන් කොළඹට දැවැන්ත ජයක්

1033

2019 ‘AFC’ කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ තරගයක් ලෙස කොළඹ පාපන්දු සමාජය සහ භූතානයේ ‘Transport United’ කණ්ඩායම අතර අද (20) සවස කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති පළමු අදියරේ තරගයෙන් ගෝල 7-1ක දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගන්නට කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් සමත් විය.

කොළඹ ක්‍රීඩා සමාජයේ AFC කුසලාන කාල සටහන නිකුත් වේ

2019 AFC කුසලානයේ පළමු තේරීම් වටයේ පළමු තරගය සඳහා කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය භූතානයේ ට්‍රාන්ස්පෝර්ට්…

කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් තරගය ආරම්භයේ සිට දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ අතර ඒ අනුව එහි දී ගෝල රැස්කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගැනීමට සමත් වුවත් ඔවුන්ට ඒවා සාර්ථක කරගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

කෙසේ නමුත් තරගයේ 5 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ මොහොමඩ් ආකීබ් තරගයේ පළමු ගෝලය වාර්තා කරගනිමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන යන්නට සමත් විය. එහි දී ඩක්සන් පුස්ලස් ගෝල රාමුව පිටත සිට එල්ල කළ ‘bicycle kick’ පහර නිසි පරිදි ග්‍රහණය කරගන්නට ප්‍රතිවාදී ගෝල රකින ක්‍රීඩක හරි ගුරුන්ග් අසමත් වූ අතර එහි දී පන්දුව ලබාගත් ආකීබ් පහසුවෙන් එය ගෝල රාමුව තුළට යොමු කිරීමෙන් එම ගෝලය වාර්තා විය.

ඉන් මිනිත්තු 3කට පසුව නැවතත් ක්‍රියාත්මක වූ ආකීබ් විසින් මෝමස් යාපෝ ලබා දුන් පන්දුවකට ගෝල රාමු කලාපය තුළ සිට ඉතා වේගවත් පහරක් එල්ල කරමින් තවත් ගෝලයක් වාර්තා කරගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවන්නට සමත් විය.

අනතුරුව තරගයේ 11 වන මිනිත්තුව සම්පූර්ණ වන්නටත් පෙර නැවත වරක් ක්‍රියාත්මක වූ ආකීබ් මෙවර මොහොමඩ් ෆාසාල් ලබා දුන් පන්දුවක් පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකරමින් තවත් ගෝලයකට හිමිකම් කියමින් තරගයේ සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කරන්නට සමත් විය.

ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩකයින් විසින් බ්ලූ ස්ටාර් සිහින විනාශ කරදමයි

2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම තීරණය කෙරෙන…

පසුව තරගයේ 20 වන සහ 25 වන මිනිත්තුවල දී ප්‍රතිවාදී ‘Transport United’ ක්‍රීඩකයින් හට ගෝල රාමු කලාපය ඉතා ආසන්නයේ දී නිදහස් පහර අවස්ථාවන් ද්විත්වයක් හිමිවුවත් එහි දී ඒවා ලබාගත් කෙසෑන්ග් ජම්ෂෝ ඒවා සාර්ථක කරගන්නට සමත් වූයේ නැත.

අනතුරුව තරගයේ 27 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩක බොඩ්රික් දිමිත්‍රි විසින් ‍යාපෝ ලබා දුන් පන්දුවකට හිසින් පහරක් එල්ල කරමින් එය ගෝල රාමුව තුළට යොමු කළේ ප්‍රතිවාදී ‘Transport United’ ක්‍රීඩකයින්ගෙන් තරගයේ ජයග්‍රහණය ඈතට රැගෙන යමිනි.

පළමු අර්ධයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින්ට ගෝලයක් වාර්තා කරගැනීමට තවත් අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඒවා සාර්ථක කරගැනීමට ඔවුන් සමත් වූයේ නැත.

පළමු අර්ධය: කොළඹ පාපන්දු සමාජය 04 – 00 Transport United

කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් පළමු අර්ධයේ දී මෙන් දෙවන අර්ධයේ දී ද දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට වූ අතර එහි ආරම්භක මිනිත්තු කිහිපයේ දී ආකීබ් හට පන්දුවට හිසින් පහරක් එල්ල කරමින් පහසුවෙන් ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් හිමිවුවත් එහිදී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවට ඉහතින් ඇදී ගියේය.

කෙසේ නමුත් මිනිත්තු කිහිපයකට පසුව ‘Transport United’ කණ්ඩායමේ අබුබකර් බාකියා විසින් දිමිත්‍රි හමුවේ සිදු කරනු ලැබූ ‘foul’ කිරීමකට විනිසුරුවරයා බාකියා හට සෘජු රතු කාඩ්පතක් නිකුත් කරනු ලැබීම නිසා තරගය සම්පූර්ණයෙන්ම කොළඹ පාපන්දු සමාජය දෙසට යොමු විය.

දෙවැනි අර්ධයේ ප්‍රහාරයෙන් ජයග්‍රහණය කොළඹට

2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන සතියේ තරගයක් ලෙස පැවති නේවි සී…

ඒ අනුව තරගයේ 68 වන මිනිත්තුවේ දී ආකීබ් හට ගෝලයක් වාර්තා කරගැනීමට තවත් පහසු අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු එල්ල කළ පහට නවතාලන්නට ගුරුන්ග් සමත් වූ අතර අනතුරුව පන්දුව එහි දී දිමිත්‍රි හට යොමුවුවත් ඔහුට එහි දී පහරක් නිර්මාණය කරගන්නට නොහැකි වීම නිසා ඔවුන්ට එම අවස්ථාව ගිලිහී ගියේය.

කෙසේ නමුත් තරගයේ 76 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ දිමිත්‍රි, චලන චමීර ලබා දුන් පන්දුවකට ගෝල රාමුව ඉතා ආසන්නයේ සිට පහරක් එල්ල කරමින් තරගයේ සිය දෙවන ගෝලය වාර්තා කරගන්නට සමත් විය.

පසුව වහාම ක්‍රියාත්මක වූ ‘Transport United’ ක්‍රීඩකයින් නෝබු ලෙප්චා හරහා තරගයේ සිය පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් විය. එහි දී ලෙප්චා ගෝල රාමු කලාපය පිටත සිට එල්ල කළ පහරේ පතිත වීම කොළඹ පාපන්දු සමාජයේ ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් ඉම්රාන් නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වීම නිසා එම ගෝලය වාර්තා විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

අනතුරුව සර්වාන් ජොහාර් එල්ල කළ පහරක් දක්ෂ ලෙස රැකගන්නට ගුරුන්ග් සමත් වූ නමුත් එහි දී පන්දුව අසිකුර් රහුමාන් වෙත යොමු වූ අතර ඔහු ඉතා පහසුවෙන් එය ගෝල රාමුව තුළට යොමු කරනු ලැබුවේ සිය කණ්ඩායමට මෙම තරගයේ 6 වන ගෝලය හිමිකර දෙමිනි.

තරගය අවසන් වන්නට පෙර නැවත වරක් ක්‍රියාත්මක වූ දිමිත්‍රි විසින් චලන ලබා දුන් පන්දුවකට පහරක් එල්ල කරමින් තවත් ගෝලයක් වාර්තා කරගනිමින් සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කර ගනු ලැබුවේ කොළඹ පාපන්දු සමාජ කණ්ඩායමට මෙම තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දෙමිනි.

සම්පූර්ණ කාලය: කොළඹ පාපන්දු සමාජය 07 – 01 ‘Transport United’

ThePapare.com තරගයේ වීරයා – මොහොමඩ් ආකීබ් (කොළඹ පාපන්දු සමාජය)

ගෝල ලාභීන්

  • කොළඹ පාපන්දු සමාජය – මොහොමඩ් ආකීබ් 5’ 8’ 11’, බොඩ්රික් දිමිත්‍රි 27’ 76’ 87’, අසිකුර් රහුමාන් 81’
  • ‘Transport United’ – නෝබු ලෙප්චා 77’

රතු කාඩ්පත්

  • ‘Transport United’ – අබුබකර් බාකියා

කහ කාඩ්පත්

  • කොළඹ පාපන්දු සමාජය – ඩක්සන් පුස්ලස්

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<