තර්ස්ටන් ප්‍රහාරයෙන් මරාදාන විරුවන් අසරණ වෙයි

455

ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් අද (06) දින රාජගිරියේ පිහිටි ආනන්ද විද්‍යාල රග්බි පිටියේ දී පැවත්විනි. එහිදී සත්කාර ආනන්ද විද්‍යාලය ලකුණු 43 – 10ක් ලෙස පරාජය කරමින් කොළඹ තර්ස්ටන් විද්‍යාලය ජයග්‍රහණය කරන ලදි. 

ලුම්බිණි බලකායෙන් මොරටු කුමරුවන්ට ප්‍රහාරයක්

පාසල් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ලෙස කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මොරටුව වේල්ස් ..

මෙවර තරගවාරයේ දෙපිලෙහිම මුල්ම තරගය ආරම්භ කරමින් දෙපිලම තම ගිණුම ජයග්‍රාහීව ආරම්භ කිරීමේ අදිටනින් පිටියට පිවිසි අතර තරගය ආරම්භයේ සිටම ඉතා උණුසුම් ස්වභාවයක් ගන්නට විය. තරගය ආරම්භ වී මිනිත්තු හයක් ගත වන විට කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයන් යම් ගැටුමකට මුල පුරන්නට වූවත් විනිසුරුවරයාගේ මැදිහත් වීමෙන් එය සමතයකට පත්විය. 

ඉන් අනතුරුව කණ්ඩායම් දෙකම ඉතා හොඳ තරග රටාවක් පෙන්නුම් කරන්නට වූ අතර තම නිජබිම තුළ තමන් අභිබවා යෑමට කාටත් අපහසු බව පෙන්වන්නාක් මෙන් තරගයේ 14 වන මිනිත්තුවේ දී ආනන්ද විද්‍යාලයේ රෂ්මික විසින් ප්‍රතිවාදී සීමා ඉර පසු කරමින් උත්සාහක දිනුමක් වාර්තා කර තම ගිණුම ආරම්භ කිරීමට සමත් විය. නමුත් රෂ්මික වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගැනීමට බානුක මධුෂාන් සමත් වූයේ නැත. (ආනන්ද 05 – 00 තර්ස්ටන්) 

කණ්ඩායම් දෙකම කරට කර තරග රටාවක් පෙන්නුම් කරමින් තරගය ඉදිරියට ඇදී යන අවස්ථාවේ ක්‍රියාත්මක වූ තර්ස්ටන් ක්‍රීඩක එච්. වික්‍රමආරච්චි විසින් ආනන්ද බලකනු බිඳ දමමින් තරගයේ 21 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. කේ. පීරිස් විසින් එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නා ලදි. (ආනන්ද 05 – 07 තර්ස්ටන්) 

එලෙස තමන්ට අවශ්‍ය වාසිය ලබා ගත් තර්ස්ටන් ක්‍රීඩකයන් කෙමෙන් කෙමෙන් තම ආක්‍රමණශීලී තරග රටාවකට අවතීර්ණ වීමට පටන් ගත්තේ සත්කාරකයන් පියවරෙන් පියවර පිටුපසට ඇද දමමිනි. ඒ අවසරයෙන් තරගයේ 30 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ තර්ස්ටන් ක්‍රීඩක ආකිල් විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූයේ තම කණ්ඩායමට අවශ්‍ය පරතරය ලබා දෙමිනි. (ආනන්ද 05-12 තර්ස්ටන්)

සත්කාරකයින් තම පිටිය තුළදීම පුදුමයට පත්කරමින් තර්ස්ටන් ක්‍රීඩකයන් ඉතා දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන්නට වූ අතර නැවතත් ක්‍රියාත්මක වූ රුක්ෂාන් පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේ දී තම කණ්ඩායමට තවත් උත්සාහක දිනුමක් වාර්තා කර දුන්නේ පළමු අර්ධයේ සියළු ගෞරවය තමන් වෙත නතුකර ගනිමිනි. (ආනන්ද 05 – 17 තර්ස්ටන්) 

පළමු අර්ධය: ආනන්ද විද්‍යාලය (1T) 05 – 17 (3T, 1C) තර්ස්ටන් විද්‍යාලය 

තමන් පළමු අර්ධයේ ලබා ගත් ආධිපත්‍යය එලෙසම රැක ගැනීමේ අදිටනින් කණ්ඩායමේ වෙනස්කමක් ද සමඟින් තරගයට අවතීර්ණ වූ තර්ස්ටන් ක්‍රීඩකයින් තම ආක්‍රමණය තවත් දැඩි කරන්නේ ආනන්ද ක්‍රීඩකයන්ට හුස්ම ගැනීමට පවා ඉඩක් ඉතුරු නොකරමිනි. නමුත් දෙවන අර්ධයේ අඩක් නිමවන තුරුම කිසිඳු කණ්ඩායමකට ලකුණු රැස්කර ගැනීමට ඉඩ නොලැබෙන්නේ කණ්ඩායම් දෙකෙහිම පසුපෙළ ක්‍රීඩකයන්ගේ දක්ෂතා නිසාවෙනි. 

තරගයේ 53 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ තර්ස්ටන් ක්‍රීඩක ඩී. බණ්ඩාර තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ ආනන්ද ආධාරකරුවන් සම්පූර්ණයෙන් නිහඬ කරමිනි. එම උත්සාහක දිනුමෙන් හිමි වූ ප්‍රවර්තනය කේ. පීරිස් සාර්ථක කර ගත්තේ තරගය මුළුමනින්ම තමන් වෙත ඇද ගනිමිනි. (ආනන්ද 05 – 24 තර්ස්ටන්) 

>> A කාණ්ඩයේ අසුනක් සොයන ඩී. එස්. සේනානායක කණ්ඩායම

තරගයේ සම්පූර්ණ පාලනය තර්ස්ටන් ක්‍රීඩකයන් අත තිබෙන මොහොතක ක්‍රියාත්මක වූ ආනන්ද විද්‍යාලයේ ප්‍රභාශ්වර උත්සාහක දිනුමක් වාර්තා කළේ තම ක්‍රීඩකයන්ට මද හෝ අස්වැසිල්ලක් ලබා දෙමිනි. නමුත් එහි ප්‍රවර්තන අවස්ථාව ඔවුන් මගහැර ගත්තේ ඔවුන් තරගයේ තවත් පසුපසට ඇද දමමිනි. (ආනන්ද 10 – 24 තර්ස්ටන්)

එම උත්සාහක දිනුමත් සමඟම නැවතත් ආනන්ද ආධාරකරුවන් ඉතා උද්යෝගයෙන් සහයෝගය ලබා දෙමින් සිටි අවස්ථාවක ක්‍රියාත්මක වූ තර්ස්ටන් ක්‍රීඩක එල්. ඩයස් තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට සමත් වන්නේ ප්‍රතිවාදී ආධාරකරුවන්ගේ සතුට කුඩා වෙලාවක් තුළ නැති කරමිනි. (ආනන්ද 10 – 29 තර්ස්ටන්) 

ඉන්පසුව මුළු තරගයම තමන්ගේ ග්‍රහණයට නතුකර ගත් තර්ස්ටන් ක්‍රීඩකයින්, තවත් ආක්‍රමණය දැඩි කරමින් ඉදිරියට ඇදෙන්නට වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස නිශ්මික විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූයේ සත්කාරකයින්ට පිටිය තුළදී හුස්ම ගැනීමට හෝ ඉඩක් ඉතුරු නොකරමිනි. එහි ප්‍රවර්තන අවස්ථාව ද පීරිස් විසින් සාර්ථක කර ගන්නා ලදි. (ආනන්ද 10 – 36 තර්ස්ටන්)

>> 2020 ලීග් කුසලානයට මාන බලන රග්බි උරුමක්කාරයෝ

සත්කාරකයන් තරගය සම්පූර්ණයෙන් අතහැර තිබූ මොහොතක තරගයේ අවසාන මොහොතේ දී නැවතත් ක්‍රියාත්මක වූ ආකිල් තම දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වන අතර එහි ප්‍රවර්තන අවස්ථාව පීරිස් විසින් සාර්ථක කර ගත්තේ ප්‍රතිවාදීන්ට තම නිජබිම තුළදීම කිසිදා අමතක නොවන පරාජයක් උරුම කර දෙමිනි. (ආනන්ද 10 – 43 තර්ස්ටන්) 

අවසන් ලකුණු තත්වය : ආනන්ද විද්‍යාලය (2T) 10 – 43 (7T, 4C) තර්ස්ටන් විද්‍යාලය  

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්: 

  • ආනන්ද විද්‍යාලය  රෂ්මික (1T), ප්‍රභාෂ්වර (1T). 
  • තර්ස්ටන් විද්‍යාලය එච්. වික්‍රමආරච්චි (1T), ආකිල් (2T), කේ. පීරිස් (4C), රුක්ෂාන් (1T), ඩී. බණ්ඩාර (1T), එල්. යසස් (1T), නිශ්මික (1T) 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<