නව වසරේ පළමු කුරුමානම සාර්ථක කරගැනීමට පෙර

1030

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය හෙට (3) මවුන්ට් මන්ගුවානි ක්‍රිකට් පිටියේ දී ආරම්භ වේ.

මැතිව්ස් වෙනුවට කඩුලු රකින පිතිකරුවෙක්

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට එකිනෙකා මුණගැසී ඇත්තේ 2015 වසරේ අග භාගයේ දී වන අතර එම තරගාවලියේ දී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම 3-1ක් ලෙස පරාජය විය. එසේම 2012/13 වසරේ නවසීලන්තය ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී 3-0ක් ලෙස එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

මුහුණට මුහුණ

1979 වසරේ සිට පැවත එන නවසීලන්ත – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසය තුල මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 94ක දී එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 45ක ජය නවසීලන්ත කණ්ඩායම සතු වෙද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 41ක් ජයග්‍රහණය කර ඇත. තවද එක්දින තරග 8ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.

වැදගත් දත්ත කිහිපයක්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර වසර 40ක් තිස්සේ පැවති එක්දින ක්‍රිකට් තරගවලින් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර පෙරමුණේ පසුවෙයි. ඔහු නවසීලන්තයට එරෙහිව එක්දින තරග 47කට සහභාගී වී ලකුණු 1568ක් ලබාගෙන ඇත්තේ 40.20ක දල සාමාන්‍යයක් රඳවා ගනිමිනි. වැඩිම කඩුලු දවාගෙන ඇත්තේ මුත්තයියා මුරලිදරන් විසින් වන අතර ඔහු නවසීලන්තය සමඟින් එක්දින ක්‍රිකට් තරග 41කට සහභාගී වෙමින් දවාගෙන ඇති කඩුලු ගණන 74ක්.

2014 ලෝක ශූරයින් 2020 ලෝක කුසලානයේ පළමු අටට නැහැ

ප්‍රහාරාත්මක පිතිකරුවන්

කුසල් ජනිත් පෙරේරා

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරණ භූමිකාවට ජීවය ලබා දෙන මේ වමත් පිතිකරුවා ජාත්‍යන්තර එක්දින තරග 82ක් තුළ ලකුණු 2093ක් ලබාගෙන ඇත්තේ 28.67ක් වැනි සාමාන්‍යයක් සමඟිනි.

ආබාධයකින් අනතුරුව නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණි කුසල් ජනිත් ශතක 3ක් සහ අර්ධ ශතක 11කින් ප්‍රතිවාදීන්ට සංග්‍රහ කර ඇත. නවසීලන්තයට එදිරිව එක් එක්දින තරගයක් පමණක් ක්‍රීඩා කර ඇති කුසල්, එම තරගය සඳහා සහභාගී වූයේ 2013 වසරේ දීයි.

කේන් විලියම්සන්

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන මේ දකුණත් පිතිකරුවා මැදපෙළ සවිමත් කරන සුවිශේෂී පිතිකරුවෙකි.

ජාත්‍යන්තර එක්දින තරග 129ක් තුළ ලකුණු 5184ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 46.28ක් වැනි හොඳ මට්ටමක පවත්වා ගනිමිනි. විලියම්සන් එක්දින ශතක 11කින් සහ අර්ධ ශතක 33ක් වාර්තා කරගෙන ඇත. ඔහු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 18ක දී ලකුණු 553ක් ලබාගෙන තිබෙන්නේ 36.86ක පමණ සාර්ථක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

නිරෝෂන් දික්වැල්ල

නවසීලන්තයට එරෙහිව එකඳු එක්දින තරගයක් හෝ ක්‍රීඩා කර නොමැති දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින තවත් දක්ෂ ආරම්භක පිතිකරුවෙකි. ඔහු මෙවර ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් සංචිතයේ උප නායකත්වයේ වගකීම දරණ අතර එක්දින ක්‍රිකට් දිවියේ තරග 46කට සහභාගී වෙමින් ශතක දෙකක් හා අර්ධ ශතක 8ක් සමඟින් රැස්කරගෙන තිබෙන සමස්ත ලකුණු සංඛ්‍යාව 1424ක් (සාමාන්‍ය 33.90).

රොස් ටේලර්

නවසීලන්ත කණ්ඩායම සතුව සිටින තවත් අත්දැකීම් බහුල හා පරිණත ක්‍රීඩකයෙක් වන ටේලර්, ජාත්‍යන්තර එක්දින තරග 207ක දී ලකුණු 7433ක් ලබාගෙන ඇත්තේ 47.04ක් වැනි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එම ලකුණු අතරට අර්ධ ශතක 43ක් හා ශතක 19ක් ඇතුළත්.

දකුණතින් පිත්ත හසුරුවන ඔහුගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රවේගකාරී මෙන්ම ආක්‍රමණශීලී පිතිකරණයක් අපේක්ෂා කිරීමට හැකි අතර ශ්‍රී ලංකාවට එදිරිව ලකුණු 27කට ආසන්න දල ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙන තිබේ.

තර්ජනාත්මක පන්දු යවන්නන්

ලසිත් මාලිංග

නැවතත් ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලෙස පත්වුණු මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිටින අත්දැකීම් බහුලතම පන්දු යවන්නා ද වේ. දකුණතින් වේගපන්දු යවන මාලිංග ඉතාමත් තර්ජනාත්මක පන්දු යවන්නෙකි. ඒ අතරින් ඔහුගේ ප්‍රබලතම අවිය වන්නේ යෝකර් පන්දුවයි.

මාලිංග ජාත්‍යන්තර එක්දින තරග 210ක දී කඩුලු 311ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දු වාරයකට දල වශයෙන් ලකුණු 5.30ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත. වයස අවුරුදු 35ක් වන මාලිංග නවසීලන්ත කණ්ඩායමට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 22ක දී කඩුලු 29ක් දවාගෙන තිබෙන්නේ 26.79ක පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

ටිම් සවුතී

නවසීලන්ත පන්දු බල ඇණිය සවිමත් කරන සවුති වයස අවුරුදු 30ක් පමණ වන අත්දැකීම් බහුල, ජවසම්පන්න ක්‍රීඩකයෙකි.

මොහු එක්දින තරග 135ක දී කඩුලු 177ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 34.39ක් ලෙස දැක්වේ. සවුති එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 5.38ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත.

දකුණතින් වේගපන්දු යවන මේ ක්‍රීඩකයාගේ එක් තරගයක හොඳම පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ 7/33කි. ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පැවති එක්දින තරග 14ක දී කඩුලු 21ක් සවුතී විසින් දවාගෙන ඇත.  

නුවන් ප්‍රදීප්

32 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන ප්‍රදීප් ජාත්‍යන්තර එක්දින තරග 31ක දී කඩුලු 35ක් දවා ගැනීමට සමත් වී ඇත. ඉන් කඩුලු 3ක්ම නවසීලන්තයට එරෙහිව ලබා ගත් කඩුලු වේ.

නවසීලන්තයට එරෙහිව 41.33ක් වැනි මට්ටමේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් සහිත ප්‍රදීප් පන්දුව පහසුවෙන්ම දෝලනය කිරීමට උපන් හපනෙකි.

ට්‍රෙන්ට් බෝල්ට්

උස අඩි 5 අඟල් 11ක් වන වමතින් වේගපන්දු යවන්න තරුවක් වන බෝල්ට්, ජාත්‍යන්තර එක්දින තරග 69ක දී කඩුලු 126ක් දවා ගැනීමට සමත් වී ඇත. ලකුණු 34කට කඩුලු 7ක් දවා ගැනීම හොඳම පන්දු යැවීම ලෙස සටහන් කර ඇති බෝල්ට් එක් පන්දුවාරයකට දල වශයෙන්  ලකුණු 5.15ක් පමණ පිතිකරුවන්ට ලබා දී ඇත. එසේම මොහු ශ්‍රී ලංකාවට එදිරිව කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 30ක් වැනි හොඳ මට්ටමක සටහන් කරගෙන ඇත.

Cricket aerial pix. New Zeland v West Indies. Photo Ross Brown – Bruce Barnard.

මවුන්ට් මන්ගුවානි තණතීරුව හා අවට කාලගුණය

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මවුන්ට් මන්ගුවානි ක්‍රිකට් පිටියේ මෙතෙක් එකඳු එක්දින ක්‍රිකට් තරගයක් පවත්වා නොමැත. ඒ නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගතහොත් පළමුව පන්දු රැකීම වඩා සුදුසු වනු ඇත.

කාලගුණය දෙස බැලීමේ දී පළමු එක්දින ක්‍රිකට් තරගයට ඉතාමත් හොඳ කාලගු‍ණ තත්වයක් අපේක්ෂා කිරීමට පුළුවනි. එසේම පළමු එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 20-25 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.

පළමු තරගයට අපේක්ෂිත සංචිත

ශ්‍රී ලංකාව – ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, දසුන් ශානක, සීකුගේ ප්‍රසන්න, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර.

නවසීලන්තය – කේන් විලියම්සන් (නායක), මාර්ටින් ගප්ටිල්, මැට් හෙන්රි, රොස් ටේලර්, කොලින් මුන්රෝ, ජිමී නිෂාම්, හෙන්රි නිකලස්, ටිම් සයිෆර්ට් (කඩුලු රකින්නා), ටිම් සවුති, ඉෂ් සෝදී , ට්‍රෙන්ට් බෝල්ට්.

අවසන් නිගමනය

ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්ත කණ්ඩායම තෙවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 4803ක් සමඟින් ප්‍රසාද ලකුණු 112ක් දිනා ගෙනයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 8 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 4240ක් සමඟ ප්‍රසාද ලකුණු 79ක් සමඟිනි.

ඒ අනුව බලන කල ශ්‍රේණිගත කිරීම්වලින් ද නවසීලන්තය පෙරමුණේ පසුවෙයි. නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබාගත් ජයග්‍රහණ නොව උක්ත දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකා – නවසීලන්ත සීමිත පන්දුවාර තරග කාලසටහන

  • පළමු එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 3 – මවුන්ට් මන්ගුවානි (දිවා/රාත්‍රි) (උදෑසන 6.30)
  • දෙවන එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 5 – මවුන්ට් මන්ගුවානි (දිවා/රාත්‍රි) (උදෑසන 6.30)
  • තෙවන එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 8 – නෙල්සන් හිදී (උදෑසන 3.30)
  • එකම විස්සයි විස්ස තරගය – ජනවාරි 11 – ඕක්ලන්ඩ් හිදී (උදෑසන 11.30)

සැ.යු:  *සියලුම වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙන් දක්වා ඇත.

ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය හෙටින් (3) ආරම්භ වන අතර එම තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<