ශ්‍රී ලංකා වේග පන්දුවේ වගකීම පාකිස්තානයට!

Sri Lanka Cricket – Coaching Staff Appointments

67

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ලෙස හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Aaqib Javedව පත් කර තිබෙනවා. 

ඒ අනුව මෙම වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සහ ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් Javed විසින් මෙම ධුරයේ කටයුතු කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. 

1992 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ පාකිස්තාන කණ්ඩායමේ සාමාජිකයකු වූ Aaqib Javed එක්දින ජාත්‍යන්තර තරග 163ක දී සහ ටෙස්ට් තරග 22ක දී පාකිස්තානය නියෝජනය කරමින් ජාත්‍යන්තර කඩුලු 236ක් දවා ගැනීමට සමත් වුනා. 

එමෙන්ම එක්දින ක්‍රිකට් පිටියේ කඩුලු ත්‍රිත්වයක් දවා ගත් ළාබාලතම පන්දු යවන්නා මෙන්ම, එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක කඩුලු 7ක් දවා ගත් ප්‍රථම පන්දු යවන්නා ලෙස ද Aaqib Javed සිය නම වාර්තා පොත් තුළ සටහන් කිරීමට සමත් වී තිබෙනවා. 

සිය විශිෂ්ට ජාත්‍යන්තර ක්‍රීඩා දිවියෙන් පසුව ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස සිය ක්‍රීඩා ජීවිතයේ දෙවැනි කාල සමය ආරම්භ කළ Javedගේ පුහුණුකාරීත්වය යටතේ පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 2004 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, පාකිස්තාන ජාතික කණ්ඩායම 2009 දී ශ්‍රී ලංකාව පරදිමින් විස්සයි විස්ස ලෝක ශූරයින් වන විට එම කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ද Aaqib Javed විසිනුයි. 

මීට අමතර ඔහු විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟ ද ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ ද පුහුණුකරුවකු ලෙස කටයුතු කර ඇති අතර, මෙම කාල සීමාවන් හි එම කණ්ඩායම් ජාත්‍යන්තර මට්ටමෙන් විශාල ප්‍රගතියක් අත් කර ගත් බව ද නොරසහක්. 

එමෙන්ම ඔහු මේ වන විට PSL තරගාවලියේ Lahore Qalandars කණ්ඩායමේ කණ්ඩායම් මෙහෙයුම් අධ්‍යක්ෂක සහ ප්‍රදාන පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<