විදෙස් ක්‍රීඩකයන් අහිමි වීමෙන් IPL විශාල අර්බුදයක

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

376

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග එළඹෙන සැප්තැම්බර් මාසය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය දා නිවේදනය කළා.

කෙසේ වෙතත් තරගාවලියේ පළමු අදියර සඳහා සහභාගී වූ ක්‍රීඩකයන් රැසකට දෙවැනි අදියර සඳහා සහභාගී වීමට නොහැකි වන බව විදෙස් මාධ්‍ය කීපයක් වාර්තා කර තිබුණා. ඒ එම ක්‍රිකට් ආයතන විසින් ක්‍රීඩකයන්ට අවසර ලබා නොදීම නිසාවෙන්.

ඒ අනුව ඉන්දීය ක්‍රිකට් ආයතනය සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් සංවිධායකයන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ඉන්දීය ක්‍රීඩක Akash Chopra පවසා සිටියේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර කණ්ඩායම් රැසක් විශාල පසුබෑමකට ලක් කරනු ඇති බවයි.

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දියාවේ දී ආරම්භ වූ අතර දැඩි සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන යටතේ නිර්මාණය වූ ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුල එය පැවැත්වුනා. කෙසේ වෙතත් තරගාවලියේ පැවැත්වීමට හැකි වුනේ තරග 30ක් පමණයි. ඉන් අනතුරුව තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයන් සහ නිලධාරීන් කීපදෙනෙකුටම කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර තරගාවලිය අතරමඟ නවතා දැමීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කළා. 

තරගාවලිය අවලංගු කිරීමත් සමඟින් එයට සහභාගී වූ විදෙස් ක්‍රීඩකයන් රැසක් නැවත සිය රටවල් බලා යාම සඳහා විශාල අපහසුතාවයකට ලක්වුනා. ඒ රටවල් රැසක් ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් යානා සඳහා තහනමක් පනවා තිබීම නිසාවෙන්. මේ නිසා ක්‍රීඩකයන් රැසක් මාලදිවයිනේ දී නිරෝධායනයට ලක් වුනා.

කෙසේ වෙතත් තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කරන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කිරීමත් සමඟින් රටවල් කීපයක්ම තම ක්‍රීඩකයන් ඒ සඳහා සහභාගී නොකරන බව පවසා තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

එහි දී පළමුව සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කළේ එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින්. එංගලන්තය එම කාලය තුළ තරගාවලි කීපයකටම සහභාගී වීමට නියමිත බැවින් කිසිදු එංගලන්ත ක්‍රීඩකයෙකු තරගාවලියේ සෙසු තරග සඳහා සහභාගී නොවන බව එරට ක්‍රිකට් අධ්‍යක්ෂ Ashley Giles පවසා සිටියා.

ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාව ද සිය ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ප්‍රකාශයට පත්කළ අතර එම ලැයිස්තුවට අලුතින්ම එක්වූ රට වූයේ බංග්ලාදේශයයි. බංග්ලාදේශ ක්‍රිකට් ආයතන ප්‍රධානියා වන Nazmul Hasan විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ තම ක්‍රීඩකයන් වන Shakib Al Hassan සහ Mushtafizur Rahman හට තරගාවලිය සඳහා සහභාගී වීමට අවසර හිමි නොවන බවයි.

මේ සම්බන්ධයෙන් සිය නිල YouTube නාලිකාවේ වීඩියෝවක් පලකරමින් Akash Chopra පවසා සිටියේ මෙලෙස විදෙස් ක්‍රීඩකයන් ඉවත් වීම කණ්ඩායම් රැසකට විශාල බලපෑමක් එල්ල කරන බවයි.

“මුලින්ම තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිත වුනේ එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගේ විතරයි. ඒත් දැන් බංග්ලාදේශ ක්‍රීඩකයන් සහභාගී නොවන බව වාර්තා වෙනවා. ඔවුන්ගේ ක්‍රීඩකයන් දෙදෙනෙකු පමණයි තරගාවලියට සහභාගී වෙන්නේ. ඒත් ඒක සමහර කණ්ඩායම් වලට ලොකු පාඩුවක් වේවි.” 

අපි මුළින් හිතුවේ Shakib Al Hassan විතරක් ඉවත්වේවි කියලා. ඒත් දැන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය Mustafizur Rahman ද තරගාවලියට සහභාගී නොවන බව තහවුරු කරලා තියනවා” Chopra පවසා සිටියා.

ඒ අනුව මෙම අර්බුදය හමුවේ වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ Kolkata Knight Riders කණ්ඩායමටයි. වේග පන්දු යවන ක්‍රීඩක Pat Cummins ද සහභාගී නොවන බව වාර්තා වන නිසා එම කණ්ඩායමේ නායක Eoin Morgan සහ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hassan ගේ සේවය ද අහිමි වීම ඔවුන්ට විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා.

Shakib ආවේ නැත්නම් ඒක Kolkata කණ්ඩායමට විශාල බලපෑමක් වෙනවා. මුලින්ම Morgan අහිමි වුනා. ඊට පස්සේ Pat Cummins. දැන් Shakib. ඔවුන් මේ ප්‍රධාන ක්‍රීඩකයන් නැතුව කොහොමද තරගාවලියට ක්‍රීඩා කරන්නේ?” Akash Chopra විමසා සිටියා.

මෙම තත්ත්වය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Hindustan Times ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<