ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිත ව Emerging Nations ශූරියන් වෙයි

ICC Women’s Emerging Nations Trophy 2026

1
ICC Women’s Emerging Nations Trophy 2026
AJMAN, UNITED ARAB EMIRATES - NOVEMBER 25: Sri Lanka players celebrate with the trophy after winning the ICC Women's Emerging Nations Trophy 2026 Final between Sri Lanka and Ireland at Karwan Sports Club Cricket Ground on November 25, 2026 in Ajman, United Arab Emirates. (Photo by Alex Davidson-ICC/ICC via Getty Images)

ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් ශූරතාව අපරාජිතව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (25) සමත් වුණා.

ඔවුන් වෙතින් අද පරාජයට පත් වෙන්නේ අයර්ලන්ත කණ්ඩායමයි.

>>පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකාව අපරාජිත ව අවසන් මහා තරගයට<<

 Ajman හි Karwan ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටියේ දී නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසි අයර්ලන්ත ක්‍රීඩිකාවෝ ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 96ක් පමණයි.

ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගය අවසන් වීමට තවත් පන්දු 44ක් තිබිය දී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 99ක් ලබා ගනිමින් ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

හර්ෂිතා සමරවික්‍රම (නායිකාව), විශ්මි ගුණරත්න, සංජනා කාවින්දි,  ඉමේෂා දුලානි, කෞෂිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), කවීෂා දිල්හාරි,  නිලක්ෂිකා සිල්වා, සත්‍යා සංදීපනී, සුගන්දිකා කුමාරි, නිමාෂා මීපගේ සහ චේතනා විමුක්ති.

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Gaby Lewis (නායිකාව), Amy Hunter (කඩුලු රකින්නිය), Lara Maritz, Louise Little, Laura Delany, Alana Dalzell, Abbi Harrison, Georgina Dempsey, Cara Murray, Aimee Maguire, සහ Kia McCartney.

ජයග්‍රාහී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඉමේෂා දුලානි පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වෙනවා.

ඇය එම ඉනිම තුළ දී 5 වැනි කඩුල්ලට කවීෂා දිල්හාරි සමඟ එක් වෙමින් පන්දු 22ක දී නොදැවුණ ලකුණු 30ක සබඳතාවයක් එක් කරනවා. එහි දී කවීෂා දිල්හාරි පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ විශ්මි ගුණරත්න සහ සංජනා කාවින්දි 1 වැනි කඩුල්ලට පන්දු 34ක දී ලකුණු 35ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. ඔවුන්ගේ එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ සංජනා කාවින්දි ගේ දැවී යෑමත් සමඟිනුයි.

ඇය ඉනිම හැර යන විට පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියා. ඉන් අනතුරු ව පන්දුවේ දී නායිකා හර්ෂිතා සමරවික්‍රම තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම ලකුණු නොලබා ම දැවී යන අතර විශ්මි ගුණරත්න ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 13කට මුහුණ දෙමින් ලකුණු 10ක් ලබා සිටියා.

ඉමේෂා දුලානි සහ කෞෂිනි නුත්‍යාංගනා 4 වැනි කඩුල්ලට පන්දු 13ක දී ලකුණු 20ක් එක් කළ අතර ඊට කෞෂිනි නුත්‍යාංගනා ට එක් කිරීමට ලැබෙන්නේ ලකුණු 3ක් පමණයි.

කඩුලු දවා ගැනීමේ දී Kia McCartney ලකුණු 16කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව Cara Murray ද ලකුණු 28කට කඩුලු 2ක් දවා ගන්නවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 10ක් තුළ දී නැවත ක්‍රීඩා විවේකාගාරයට හරවා යැවීමට සත්‍යා සංදීපනී සමත් වෙනවා.

නමුත් ඉන් අනතුරු ව කඩුල්ලේ දී පන්දු 24ක දී ලකුණු 24ක සබඳතාවක් එක් කිරීමට ආරම්භක පිතිකාරිනී Amy Hunter සහ  Louise Little සමත් වෙනවා. එහි දී Louise Little පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15කට දැවී යන අතර Amy Hunter ඉනිමේ සිව් වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 15කට මුහුණ දෙමින් ලකුණු 10ක් ලබා සිටියා.

අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ මැද පෙළින් පිටියට පිවිසි Alana Dalzell. ඇය පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා. ඊට අමතර ව Georgina Dempsey පන්දු 13ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලට පන්දු 25ක දී ලකුණු 28ක සබඳතාවක් එක් වෙන අතර එය අයර්ලන්ත ඉනිමේ කඩුලු අතර වාර්තා වූ ඉහළ ම ලකුණු සබඳතාවය ද වූවා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මද වේග පන්දු යැවූ සත්‍යා සංදීපනී ලකුණු 13කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවූ අතර එය ඇයගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුණා.

ඇයට අමතර ව කවීෂා දිල්හාරි, සුගන්දිකා කුමාරි, නිමේෂා මීපගේ සහ චේතනා විමුක්ති කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 96 (19.3) Louise Little15, Alana Dalzell24, සත්‍යා සංදීපනී 4/13
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 136 (20.0)සංජනා කාවින්දි 25, ඉමේෂා දුලානි නොදැවී 44, කවීෂා දිල්හාරි නොදැවී 16,Kia McCartney 2/16, Cara Murray 2/38

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

තරගයේ වීරයා – සත්‍යා සංදීපනී (ශ්‍රී ලංකාව)

තරගාවලියේ විරයා – විශ්මි ගුණරත්න (ශ්‍රී ලංකාව)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<