සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අවසන් මහා තරගයට

SLSCA U 19 Division I Limited Over Tournament 2026/27

1
Cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කළ අන්තර් පාසල් 2 වැනි පෙළ Tier B කාණ්ඩයේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් වෙනවා.

කොළඹ BRC පිටියේ දී පැවැති අවසන් පූර්ව තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ මාතර සාන්ත තෝමස් විද්‍යාලයයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 206ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 151ක් පමණයි. ඒ අනුව සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට තවත් පන්දු 26ක් ද ඉතිරි ව තිබිය දී  තරගයේ ජයග්‍රහණයක් හිමි වුණා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය කණ්ඩායමේ වැඩිම ලකුණුලාභින් බවට පත් වීමට ටෙහාන් බීටර් සහ මිහිල ජයවීර සමත් වුණා. ටෙහාන් බීටර් පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ද සහ මිහිල ජයවීර පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 42ක් ද ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 72ක සබඳතාවක් ද ගොඩ නගනවා.

ඔවුන්ට අමතර ව සිතුම් හසරංග පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ද සහ දිනාත් සෙනිල පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී විහඟ සංකල්ප සහ රවීන් සචින්ත කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව වින්දිල චනුත් කඩුලු 2ක් ද සහ දිනුර පවින්ජිත් කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු සාන්ත තෝමස් ඉනිමේ වැඩිම ලකුණුලාභින් වූයේ තත්සර දෙව්මිත් සහ යොමිරු සස්වින්. තත්සර දෙව්මිත් පන්දු 76කට මුහුණ දෙමින් හතෙර් පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 48ක් ලබා ගනිද්දී යොමිරු සස්වින් පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 48ක් ලබා ගත්තා.

ඊට අමතර ව හංස ඉඳුවර පන්දු 12කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී රුමේන් පීරිස් ලකුණු 28කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව විහඟ රත්නායක කඩුලු 2ක් ද, දිනාත් සෙනිල, මානික්‍ය දේශප්‍රිය සහ ලිතික ජයසුන්දර කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – කඩුලු 9ක් දැවී 206 (50.0) ටෙහාන් බීටර් 42, මිහිල ජයවීර 42, සිතුම් හසරංග 21, වින්දිල චනුත් 2/25, රවීන් සචින්ත 3/56, විහඟ සංකලන 3/35
  • සාන්ත තෝමස් විද්‍යාලය – සියලුම දෙනා දැවී 151 (45.4) තත්සර දෙව්මිත් 48, යොමිරු සස්වින් නොදැවී 48, රුමේන් පීරිස් 3/28, විහඟ රත්නායක 2/26

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ලකුණු 55ක ජයක්.

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<