සත්කාරකයෝ ජයග්‍රහණයකින් තරගාවලිය ආරම්භ කරයි

Pakistan ODI Tri-Series 2026

2
Cricket

ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් පාකිස්තාන ක්‍රීඩකයෝ ලකුණු 37ක ජයග්‍රහණයක් වාර්තා කරමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කළා.

ශ්‍රී ලංකාව සමඟින් Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (18) නිමා වූ මෙම තරගයේ දී පාකාස්තානය වෙනුවෙන් 19 වැනි වියේ පසුවෙන වමත් පිතිකරු Saad Baig ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත්තා.

>>තුන්කොන් තරගාවලියේ දී හමුවෙන ප්‍රතිවාදීන්<<

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 305ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තවත් පන්දු 11ක් ද ඉතිරි ව තිබිය දී සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 268ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම

 

කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, ජනිත් ලියනගේ, දසුන් ශානක, සචිඳු කොළඹගේ, එශාන් මාලිංග, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මදුශංක.

 

පාකිස්තාන කණ්ඩායම

 

Shaheen Shah Afridi (නායක), Fakhar Zaman, Saim Ayub, Babar Azam, Saad Baig (කඩුලු රකින්නා), Salman Agha, Hasan Nawaz, Arafat Minhas, Faheem Ashraf, Naseem Shah සහ Haris Rauf.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 32ක් වෙද්දී දැවී යනවා. එසේ වූවත් Babar Azam සහ කෝඩුකාර Saad Baig එක් ව ඉනිමේ 3 වැනි කඩුල්ලට පන්දු 83ක දී ලකුණු 74ක සබඳතාවක් ගොඩ නගමින් පාකිස්තාන ලකුණු පුවරුව ශක්තිමත් කරනවා.

එහි දී Babar Azam පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 45කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. Saad Baig ඉනිමේ සිව් වැනි

කඩුල්ලට දැවී යද්දී පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා.

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරු ව ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් Salman Agha පාකිස්තාන ඉනිම තව තවත් ශක්තිමත් කළා. ඔහු ඉනිමේ 7 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 107ක් ලබා සිටියා. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ සිව් වැනි ශතකයයි.

ඔහු එම ඉනිම තුළ දී Hasan Nawaz හා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 93ක දී ලකුණු 97ක් ද සහ Arafat Minhas හා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 46ක දී ලකුණු 64ක සබඳතාවක් ද ගොඩ නගනවා.

එහි දී Hasan Nawaz පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ද සහ Arafat Minhas පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී එශාන් මාලිංග ලකුණු 46කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග 11ක හොඳම පන්දු යැවීමයි.

ඔහුට අමතර ව අසිත ප්‍රනාන්දු ලකුණු 59කට කඩුලු 3ක් ද සහ ඩිල්ශාන් මදුශංක ලකුණු 67කට කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ කමිඳු මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දුයි. ඔවුන් දෙදෙනාගේ සබඳතාව පන්දු 33ක දී එකතු වූ ලකුණු 30කට සීමා වූවා. අවිශ්ක ප්‍රනාන්දු

පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 5කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

ඉන් අනතුරු ව කඩුල්ලට පන්දු 50ක දී ලකුණු 36ක් එක් වෙද්දී නායක කුසල් මෙන්ඩිස් ලකුණු 18කට දැවී යමින් එම ලකුණු සබඳතාව ද අවසන් කරනවා. ඒ වෙද්දී ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා සිටියා.

කමිඳු මෙන්ඩිස් ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් ලබා සිටියා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 10 වැනි පන්දුවේ දී සහන් ආරච්චිගේ ලකුණු 3කට දැවී යන අතර ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 4ක් දැවී ලකුණු 91ක් ලෙසයි.

ඉන් අනතුරු ව කඩුල්ලේ දී පන්දු 107ක දී ලකුණු 119ක ලකුණු සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව තර කිරීමට පවන් රත්නායක සහ ජනිත් ලියනගේ සමත් වෙනවා.

ඔවුන් දෙදෙනාගේ මෙම සබඳතාව බිඳ වැටෙන්නේ පවන් රත්නායකගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 79ක් ලබා සිටියා. එය ඔහුගේ අර්ධ ශතක ඉනිමකින් අවසන් වූ පළමු ඉනිමයි.

ජනිත් ලියනගේ ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 60ක් ලබා සිටියා. එය ඔහුගේ 7 වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකයයි.

ඔහු දැවී යන විට දසුන් ශානක හා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 38ක දී ලකුණු 43ක සබඳතාවක් ද එක් කරනවා. එහි දී දසුන් ශානක පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 15ක් තුළ දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූ අතර එහි දී Shaheen Shah Afridi ලකුණු 55කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව Naseem Shah, Haris Rauf සහ Faheem Ashraf කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

• පාකිස්තානය – සියලුම දෙනා දැවී 305 (49.5) Babar Azam 45, Saad Baig 39, Salman Agha 107, Hasan Nawaz 37, අසිත ප්‍රනාන්දු 3/59, ඩිල්ශාන් මදුශංක 2/67, එශාන් මාලිංග 4/46

• ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 268 (48.1) කමිඳු මෙන්ඩිස් 44, පවන් රත්නායක 79, ජනිත් ලියනගේ 60, දසුන් ශානක 28, Shaheen Shah Afridi 3/55, Naseem Shah 2/43, Haris Rauf 2/48, Faheem Ashraf 2/49

පාකිස්තාන කණ්ඩායමට ලකුණු 37ක ජයක්.

තරගයේ වීරයා – Salman Agha (පාකිස්තානය)

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන 2 වැනි තරගය මේ මස 22 වැනිදා එංගලන්තය සමඟින් Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<