Tier B එක්දින පිටිය කැළඹූ වීරයෝ

Tier B 50 Over Tournament 2026

1

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ 2026, Tier B සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගියදා කොළඹ Bloomfield ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසන් වෙන්නේ Army SC කණ්ඩායමට ජයග්‍රහණය හිමි වෙමින්. 

කණ්ඩායම් 12ක් කාණ්ඩ ද්විත්වයක් යටතේ පැවැති මෙම තරගාවලියේ අනුශූරයන් බවට පත් වූයේ Galle CC කණ්ඩායමයි. එම කණ්ඩායම් ද්විත්වය මෙවර තරගාවලියේ දී එක ම කාණ්ඩයක් යටතේ තරගාවලියට එක් වූ අතර එහි දී Army SC ක්‍රීඩකයෝ මෙම ජයග්‍රහණය ලබා ගන්නේ තරගාවලියේ අපරාජිතව සිටිමින් වීම විශේෂත්වයක්.  

Tier B එක්දින ශූරතාව Army SC කණ්ඩායමට

තරග 33ක දී ශතක 4ක් සහ අර්ධ ශතක 49ක් සමඟින් ලකුණු 14356ක් ලබා ගත් සහ කඩුලු 466ක් දැවී ගිය මෙම තරගාවලියේ සුවිශේෂී කඩඉම් පිළිබඳ ව තැබෙන සටහනක් මේ.  

අවසන් මහා තරගයේ වීරයා – අසේල ගුණරත්න (Army SC)

මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා බවට පත් වෙන්නේ Army SC කණ්ඩායමේ අසේල ගුණරත්න. ඔහු එම තරගයේ දී පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 99ක් ලබා ගන්නවා. එය ඔහු මෙවර තරගාවලියේ දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වූවා.  

එම ඉනිමත් සමඟින් ඔහු මෙවර තරගාවලියේ දී තරග 5ක දී ලකුණු 227ක් ලබා ගැනීමට සමත් වන අතර එහි සාමාන්‍ය 75.67ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද ඔහු සමත් වෙනවා. ඔහු විසින් රැස් කරන ලද එම ලකුණු  අතරට පෙර ඉනිමට අමතර ව, Kandy Customs SC කණ්ඩායමට එරෙහි ව පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලබා ගත් ලකුණු 53ක් ඇතුලත්.  

පන්දු යැවීමේ දී ද ඔහු තම ගිණුමට කඩුලු 6ක් එක් කර ගන්නවා.  

40 වැනි වියේ පසුවෙන අසේල ගුණරත්න දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසයි සැලකෙන්නේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ ද දක්ෂතා දැක් වූ ඔහු මේ වෙද්දී පළමු පෙළ තරග 101කට සහභාගී වෙමින් ශතක 15ක් සහ අර්ධ ශතක 34ක් සමඟින් ලකුණු 6649ක් සහ කඩුලු 68ක් ද, පළමු පෙළ එක්දින තරග 138ක දී ශතකයක් සහ අර්ධ ශතක 15ක් සමඟින් ලකුණු 3113ක් සහ කඩුලු 91ක් ද සහ විස්සයි විස්ස තරග 92ක දී අර්ධ ශතක 11ක් සමඟින් ලකුණු 1683ක් සහ කඩුලු 62ක් ද ලබා ඇති ක්‍රීඩකයෙක්.  

තරගාවලියේ දක්ෂතම පිතිකරු – යුතික ද සිල්වා (Galle CC)

තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන දිනා ගත්තේ අනුශූර Galle CC කණ්ඩායමේ යුතික ද සිල්වා. ඔහු මෙවර තරගාවලිය නිමා කරන්නේ තරග 7ක ඉනිම් 6ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 360ක් ලබා ගනිමිනුයි.  

එහි දී ඔහුගේ හොඳම ඉනිම බවට පත් වූයේ United Southern CC කණ්ඩායමට එරෙහි ව පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු 96යි.  

ඊට අමතර ව ඔහු Moratuwa SC කණ්ඩායමට එරෙහි ව පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 86ක් ද, Kandy Customs SC කණ්ඩායමට එරෙහි ව පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 81ක් ද සහ Sebastianites C & AC කණ්ඩායමට එරෙහි ව පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ද ලබා ගන්නවා.  

ඔහු මෙවර තරගාවලියේ වැඩිම අර්ධ ශතකලාභියා මෙන් ම වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට ද පත් වුණා. ඔහු විසින් එල්ල කළ හතරේ පහර සංඛ්‍යාව 41ක්.  

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා 
  Player  Team  M  Ins  NO  Runs  HS  Ave  100  50 
1  යුතික ද සිල්වා  Galle CC  7  6  0  360  96  60.00  0  4 
2  ඩිල්ශාන් කොල්ලුරේ  Kurunegala SC  6  6  0  259  71  43.17  0  2 
3  පැතුම් ඩිල්ශාන්  Army SC  7  7  0  240  67  34.29  0  2 
4  අශාන් සුදර්ශන  Army SC  7  7  0  238  53  34.00  0  2 
5  මනුශ්ක සමිත්  Army SC  7  7  0  235  42  33.57  0  0 

115 : තරගාවලියේ ඉනිම වැඩිම ලකුණුලාභී පිතිකරුවා United Southern CC කණ්ඩායමේ පෙසඳු සංජාන්. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ Galle CC කණ්ඩායමට එරෙහි ව සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

9x6s : තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයන් ලෙසින් Army SC කණ්ඩායමේ තිසර පෙරේරා සහ Kurunegala SC කණ්ඩායමේ සනුජ නිඳුවර ලැයිස්තු ගත ව සිටිනවා.  

41x4s : තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ පිතිකරු බවට පත් වූයේ Galle CC කණ්ඩායමේ යුතික ද සිල්වා.  

4 x50s : තරගාවලියේ වැඩිම අර්ධ ශතක වාර්තා කළ ක්‍රීඩකයා බවට පත් වූයේ Galle CC කණ්ඩායමේ යුතික ද සිල්වා. 

30 balls : තරගාවලියේ වේගවත් අර්ධ ශතකය වාර්තා කරන්නේ Army SC කණ්ඩායමේ පැතුම් ඩිල්ශාන්. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ United Southern CC කණ්ඩායමට එරෙහිව පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.  

121 balls : තරගාවලියේ වේගවත් ශතකය වාර්තා කරන්නේ Kurunegala SC කණ්ඩායමේ කවීන් බණ්ඩාර. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ Ragama CC කණ්ඩායමට එරෙහි ව කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.  

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – ඩිලංක අවර්ඩ්ට් (Navy SC) 

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත් වෙන්නෙ Navy SC කණ්ඩායම නියෝජනය කළ වමතින් දඟ පන්දු යැවූ ඩිලංක අවර්ඩ්ට්. 36 වැනි වියේ පසුවෙන ඔහු මෙවර තරගාවලියේ දී තරග 5ක දී කඩුලු 15ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.  

එහි දී ඔහුගේ පන්දු යැවීම බවට පත් වෙන්නේ Leo CC කණ්ඩායමට එරෙහි ව වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී ලකුණු 50කට දවා ගත් කඩුලු 5යි.  

වසර ගණනාවක් තිස්සේ දෙවැනි පෙළ ක්‍රිකට් පිටියේ පන්දු යවන්නෙක් ලෙසින් දක්ෂතා දක්වන ඩිලංක අවර්ඩ්ට් පළමු පෙළ තරග 33ක දී කඩුලු 105ක් ද, පළමු පෙළ එක්දින තරග 45ක දී කඩුලු 46ක් ද සහ විස්සයි විස්ස තරග 25ක දී කඩුලු 31ක් ද ලබා ඇති ක්‍රීඩකයෙක්.  

  තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නෝ 
  Player  Team  M  Over  Md  Runs  Wkts  Best  4w+ 
1  රුචිර සිල්වා  Kurunegala SC  6  52.3  2  224  18  5/37  3 
2  ලිලාන් රංගන  Army SC  7  62.0  5  282  16  4/41  1 
3  ඩිලංක අවර්ඩ්ට්  Navy SC  5  44.0  4  185  15  5/50  1 
4  හංසජ හිරුණ  Negombo CC  4  31.1  5  119  13  6/47  1 
5  මදුශංක ප්‍රේමරත්න  Moratuwa SC  5  34.1  1  168  11  4/56  1 
චානක දේවින්ද  Galle CC  7  63.0  11  210  11  3/42  0 
කවිඳු නිර්මාණ  Galle CC  7  41.4  4  217  11  4/33  1 

 

6/47 : තරගාවලියේ ඉනිම හොඳම පන්දු යැවීමේ වාර්තාව සතු වෙන්නේ Negombo CC කණ්ඩායමේ හංසජ හිරුණ වෙතයි. ඔහු මෙම දක්ෂතා සිදු කරන්නේ Kurunegala SC කණ්ඩායමට එරෙහිවයි.  

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා – රුචිර සිල්වා (Kurunegala SC)

මෙවර තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගන්නේ Kurunegala SC කණ්ඩායම නියෝජනය කළ වමතින් දඟ පන්දු යවන රුචිර සිල්වා. ඔහු මෙවර තරගාවලියේ දී තරග 6ක දී කඩුලු 18ක් දවාගෙන පෑ දක්ෂතාත් සමඟින් මෙම සම්මානයට හිමිකම් කිව්වා.  

එහි දී ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ Ragama CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 37කට දවා ගත් කඩුලු 5යි. ඊට අමතර ව ඔහු Moratuwa SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 24කට කඩුලු 4ක් ද සහ Navy SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 45කට කඩුලු 4ක් ද දවා ගත්තා.  

315/6 : තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමේ ගෞරවය Kurunegala SC කණ්ඩායම සතු වෙනවා. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ Ragama CC කණ්ඩායමට එරෙහි ව කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.  

67 :  තරගාවලියේ අඩුම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය කණ්ඩායම වෙන්නේ Kandy Customs SC. ඔවුන් මෙම අවාසනාවන්ත ඉනිම වාර්තා කරන්නේ Army SC කණ්ඩායම හමුවේ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.  

194 Runs : තරගාවලියේ ඉහළ ම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ කණ්ඩායම වෙනුවෙන් Army SC කණ්ඩායම. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ Kandy Customs SC කණ්ඩායමට එරෙහි ව පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.  

545 : තරගාවලියේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව වූයේ Army SC කණ්ඩායම සහ Galle CC කණ්ඩායම එක් ව කොළඹ, Bloomfield ක්‍රිකට් පිටියේ දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාවයි.  

එහි දී Army SC කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 284ක් ලබා ගත් අතර Galle CC කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 261ක් ලබා ගත්තා.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<