පසන්ගෙන් නායකත්වයේ ශතකයක්; රවීන්ගෙන් කඩුලු 4ක්

19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

776

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දෙදින තරග දෙකක් අද (25) කොළඹ දී ආරම්භ වුනා. නාලන්දා, ත්‍රිත්ව, සාන්ත ජෝසප් සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාල මේ තරග සඳහා තරග කළා.

මහේල – සංගා අභියෝගතා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන නාලන්දා – ත්‍රිත්ව තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 267ක් ලබාගෙන සිටියා.

දිනය අවසන් වන විට ත්‍රිත්ව පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණු ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක රනුද සෝමරත්න අංක 5 ස්ථානයේ ක්‍රීඩා කරමින් 4 පහර 5ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් පන්දු 127ක දී අගනා ලකුණු 91ක් ලබා ගත්තා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා 19න් පහළ හිටපු උප නායක රවීන් ද සිල්වා යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා සෝමරත්නට සිය ශතකය සම්පූර්ණ කරගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

ලකුණු 33කට කඩුලු 3ක් බිඳ වැටී තිබුණු ත්‍රිත්ව පළමු ඉනිම ගොඩනැංවූ සෝමරත්න සහ රහල් අමරසිංහ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 141ක් තුල ලකුණු 133ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූවා.

4 පහර 12ක් සහ 6 පහරක් සමඟ පන්දු 75ක දී ලකුණු 75ක් ලබා ගත් අමරසිංහගේ දැවී යාමත් සමඟ එම සබඳතාවය බිඳ වැටුණා. එම කඩුල්ල සඳහා ද හිමිකම් කියනු ලැබුවේ දකුණතින් පා දඟපන්දු යවන රවීන් ද සිල්වායි. රවීන් ලකුණු 98කට කඩුලු 4ක් බිඳ දමමින් දස්කම් දැක්වූවා.

සාන්ත ජෝසප් – සාන්ත බෙනඩික්ට් තරගයේ දී සාන්ත බෙනඩික්ට් නායක පසන් සුවහස් නායකත්වයේ ඉනිමක් දියත් කරමින් ශතකයක් ලබා ගත්තා. දිනය පුරාවට පිතිකරණයේ නිරත වුනු පසන්ගේ නොදැවුණු ඉනිමට 4 පහර 5ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුනු අතර තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 181ක් ලබාගැනීමට සංචාරක සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයින් සමත් වුනා. ශාරුජන් ශන්මුගනාදන් ලකුණු 30යි.

ත්‍රිත්ව විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය

කාසියේ වාසිය – නාලන්දා විද්‍යාලය

ක්‍රීඩාංගණය – නාලන්දා විද්‍යාල ක්‍රීඩාංගණය

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම (පළමු ඉනිම අවසානයේ) – 267/9 (79): රනුද සෝමරත්න 91, රහල් අමරසිංහ 75, මනුල කුලරත්න 29*. විදුක ධම්මගේ 23, රවීන් ද සිල්වා 4/98, ලිසුර සිගේරා 2/26.

සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

කාසියේ වාසිය – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

ක්‍රීඩාංගණය – සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 181/7 (79.3): පසන් සුවහස් 109*, ශාරුජන් ශන්මුගනාදන් 30, කවීන් පතිරණ 3/34, ශෙවෝන් ඩැනියල් 2/25.

පළමු දිනයට ක්‍රියාත්මක වූ මේ තරග දෙකම හෙට (26) ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<