රාජකීයයන් 17න් පහළ 2 වැනි පෙළ ශූරතාවත් දිනා ගනී

3
U 17 Div ii Tournament 2026 - Final Match

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද අනුග්‍රහය ඇතිව සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ දෙවැනි පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය පරාජය කරමින් 2026 වසරේ ශූරයන් බවට පත් වීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා.

>>තෝමසුවන් පරාජය කළ රාජකීයයන් 17න් පහළ ශූරයන් වෙයි<<

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී (13දා) අවසන් වූ මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් රාජකීය විද්‍යාලය පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා. ප්‍රතිවාදීන්ගේ ආරාධනාව අනුව පිටියට පිවිසි වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 103ක් ලබා ගන්නවා.

එම ඉලක්කය කඩුලු 8ක් පමණක් දැවී තවත් පන්දුවාර 15ක් ද ඉතිරි කර ගනිමින් සපුරා ගැනීමට රාජකීය විද්‍යාලයීය දෙවැනි පෙළ ක්‍රීඩකයෝ සමත් වෙන්නේ තරගයෙන් කඩුලු 2ක ජයග්‍රහණයක් ද තම කණ්ඩයම සතු කර ගනිමින්.

කොළඹ රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ දෙවැනි පෙළ කණ්ඩායම

තුමිඳු සෝමසිරි (නායක), ඉසුක වික්‍රමසිංහ, රසුල මදාරසිංහ, මනිෂ් විජේසුන්දර, සෙනුත් පෙරේරා, සිතුක අල්විස්, බිනර කුලසේකර, අහමඩ් රහීම්ඩීන්, දුල්න නිම්නාල්, සහ සෙනේශ් රත්නායක සහ දිනුජ වේල්ලහේවගේ.

වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම

අනුජ ගිම්හාන් (නායක), දිනිත් නෙවුමාල්, චමේෂ් මොක්ශාන් (කඩුලු රකින්නා), කවීෂ සයුරංග,  ඉමේෂ් චතුරංග, ප්‍රවීන් තීක්ෂණ, සුමේෂ් මල්ක, යසිරු නෙත්සර, නදිත් ප්‍රබෝධ, දහම් දිදුල සහ බිනර ගිම්සර.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක වමත් පිතිකරු දිනිත් නෙවුමාල්. ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.

ඊට අමතර ව චමේෂ් මොක්ශාන් පන්දු 37ක හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ද සහ කවීෂ සයුරංග පන්දු 50ක දී ලකුණු 10ක් ද ලබා ගත්තා.

අනෙක් සෑම පිතිකරුවෙක් ගේ ම  ඉනිම් තනි ලකුණකට සීමා වූ අතර කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟ පන්දු යැවූ දිනුජ වේල්ලහේවගේ ලකුණු 14කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව සෙනේෂ් රත්නායක ලකුණු 16කට කඩුලු 3ක් ද සහ සෙනුත් පෙරේරා ලකුණු 24කට කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රාජකීය විද්‍යාලයීය ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ආරම්භක පිතිකරුවන් වූ තුමිඳු සෝමසිරි සහ ඉසුක වික්‍රමසිංහ සමත් වුණා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 61ක සබඳතාවක් ගොඩ නගනවා.

එම සබඳතාව බිඳී යන්නේ නායක තුමිඳු සෝමසිරි ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යද්දී පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව තවත් ලකුණු 5ක් පමණක් කණ්ඩායමට එක් වෙද්දී ඉසුක වික්‍රමසිංහ ද දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 57කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් නොමැති ව ලකුණු 14ක් ලබා සිටියා.

ඔවුන්ට අමතර ව මනිෂ් විජේසුන්දර පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබා ගත්තා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව තවත් ලකුණු 10ක් තුළ කඩුලු 3ක් දවා ගැනීමට ප්‍රතිවාදී වාද්දුව මැදි විදුහල් ක්‍රීඩකයෝ සමත් වූව ද පිතිකරණයේ දී ඔවුන් රැස් කරන ලද අඩු ලකුණු ප්‍රමාණය හේතුවෙන් තරගයේ වැඩි වාසි රාජකීය විද්‍යාලය සතු වුණා.

කඩුලු දවා ගැනීමේ දී දකුණත් ආරම්භක පන්දු යැවූ ඉමේෂ් චතුරංග ලකුණු 26කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව වමතින් දඟ පන්දු යැවූ කවීෂ සයුරංග ලකුණු 16කට කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 103 (36.2) දිනිත් නෙවුමාල් 30, සෙනේෂ් රත්නායක 3/16, සෙනුත් පෙරේරා 2/24, දිනුජ වේල්ලහේවගේ 5/14

 

කොළඹ රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ දෙවැනි පෙළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 104 (34.5) තුමිඳු සෝමසිරි 40, මනිෂ් විජේසුන්දර 17, ඉමේෂ් චතුරංග 4/26, කවීෂ සයුරංග 3/16

 

කොළඹ රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ 2 වැනි පෙළ කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<