පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පරාජයක්

Sri Lanka tour of England 2026

2
Sri Lanka tour of England 2026

එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ 1 වැනි පුහුණු විස්සයි විස්ස තරගයෙන් එංගලන්ත Lions  කණ්ඩායම හමුවේ කඩුලු 9ක පරාජයකට ලක් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වුණා.

>>ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය හෙට සිට…<<

Chelmsford හී Ambassador Cruise Line ක්‍රීඩාංගණයේ දී (11දා) අවසන් වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත Lions කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ තවත් පන්දු 20ක් ද ඉතිරි ව තිබිය දී සියලුම දෙනා දැවී ලකුණු 117ක් පමණයි.

කමිඳු මෙන්ඩිස් ගේ නායකත්වයෙන් යුතුව තරග බිමට පිවිසි මෙම කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ තවමත් විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් ලබා නොමැති තරිඳු රත්නායක. ඔහු පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 48ක් ලබා ගන්නවා.

ඊට අමතර ව කමිඳු මෙන්ඩිස් පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා ගත් අතර අනෙක් කිසිඳු පිතිකරුවෙක්ට තනි ඉලක්කම් පසුකර යෑමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

එහි දී පැතුම් නිස්සංක (4), ලහිරු උදාර (6), කමිල් මිෂාර (5), පවන් රත්නායක (0), ජනිත් ලියනගේ (5), දුනිත් වෙල්ලාලගේ (4), දුශ්මන්ත චමීර (0) සහ ඒශාන් මාලිංග (5) ඔවුන්ගේ ගොදුරු බවට පත් වෙද්දී නුවන් තුෂාර ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 8ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ආරම්භක වමත් වේග පන්දු යැවූ Luke Wood ලකුණු 27කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Will Jacks, Sonny Baker සහ Jafer Chohan කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත Lions ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය පන්දු 44ක් පමණක් වැය කරමින් කඩුල්ලක් පමණක් අහිමිකර ගනිමින් අභිබවා යනවා.

එහි දී Tom Banton පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙනවා.

ඊට අමතර ව නායක Will Jacks පන්දු 12ක දී හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 24ක දී නොදැවුණ ලකුණු 51ක සබඳතාවක් ද ගොඩ නගනවා.

එංගලන්ත Lions ඉනිමේ දැවී ගිය එක ම ක්‍රීඩකයා වූ Aneurin Donald පන්දු 8ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා. දැවී ගිය එම කඩුල්ලේ හිමිකාරීත්වය දුනිත් වෙල්ලාලගේ සතු වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 117 (16.4) කමිඳු මෙන්ඩිස් 29, තරිඳු රත්නායක 48, Luke Wood 4/27, Sonny Baker 2/23, Will Jacks 2/13, Jafer Chohan 2/25

 

එංගලන්ත Lions කණ්ඩායම – කඩුල්ලක් දැවී 118 (7.2) Tom Banton නොදැවී 56, Aneurin Donald 31, Will Jacks නොදැවී 30

 

එංගලන්ත Lions කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 2 වැනි පුහුණු විස්සයි විස්ස තරගය හෙට (13) Becknham හී County ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<