ශ්‍රී ලංකාව තෙවැනි වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

Women’s T20 Asia Cup 2026

1
Women’s T20 Asia Cup- SLW vs PAKW Match

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුණා. ආසන්නත ම වසරේ ශූරියන් ලෙසින් මෙවර තරගාවලියට එක් වූ ඔවුන් පාකිස්තානය හා සමඟ (11දා) පැවැති තරගයේ දී කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි මෙම තරගය හා එක් වීමට සුදුසුකම් ලබා ගන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයක් සඳහා ආසන්නත ම තරගාවලි ත්‍රිත්වයේ දී ම අවසන් මහා තරගය සඳහා එක් වීමට භාග්‍යමත් වූවා.

>>ශ්‍රී ලංකාව අපරාජිත ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී<<

Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පාකිස්තානය පෙර තරගය හා එක් වූ කණ්ඩායම ම නම් කර තිබූ අතර ශ්‍රී ලංකාව එක් වූයේ වෙනස්කම් ද්විත්වයක් සිදු කරමින්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර තරගය හා එක් ව සිටි විශ්මි ගුණරත්න වෙනුවට හසිනි පෙරේරාත්, චේතනා විමුක්ති වෙනුවට මිතාලි අයෝද්‍යාත් එක් කර තිබුණා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම

චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, සංජනා කාවින්දි, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, කෞෂිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, චමුදි ප්‍රබෝධා සහ මිතාලි අයෝද්‍යා.

පාකිස්තාන කාන්තා කණ්ඩායම

Fatima Sana (නායිකාව), Muneeba Ali (කඩුලු රකින්නිය), Shawaal Zulfiqar, Gull Feroza, Ayesha Zafar, Sadaf Shamas, Tuba Hassan, Eyman Fatima, Umm-e-Hani, Nashra Sandhu සහ Sadia Iqbal.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් දැවී ලකුණු 130ක් ලබා ගන්නා ලද අතර එම ඉලක්කය කඩුලු 6ක් පමණක් දැවී තවත් පන්දු 8ක් ඉතිරි කර ගනිමින් සපුරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

එම ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක නොවූවත් මැද පෙළ පිතිකාරිනියන්ගේ වික්‍රමාන්විත පිතිහරඹය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට හේතු වූවා.

එහි දී හර්ෂිතා සමරවික්‍රම පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 36ක් ද සහ කවීෂා දිල්හාරි පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 33ක් ද ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 59ක දී ලකුණු 67ක සබඳතාවක් එක් කරනවා.

ඔවුන්ට අමතර ව චමරි අතපත්තු හා ඉනිම ආරම්භ කළ ඉමේෂා දුලානි පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා. චමරි අතපත්තුගේ මෙම ඉනිම ද තනි ඉලක්කමකට (5) සීමා වූවා. එමෙන් ම සංජනා කාවින්දි (0) සහ හසිනි පෙරේරා (3) ගේ ඉනිම් ද තනි ඉලක්කම්වලට සීමා වූවා.

 තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී නිලක්ෂිකා සිල්වා පන්දු 10ක දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද සහ කෞෂිනී නුත්‍යාංගනා පන්දු 4ක දී හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 10ක් ද ලබා සිටියා.

ඔවුන් දෙදෙනා තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමේ දී 7 වැනි කඩුල්ලට පන්දු 10ක දී නොදැවුණ ලකුණු 25ක් එක් කරනවා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මද වේග පන්දු යැවූ Fatima Sana ලකුණු 38කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. එය ඇයගේ 67ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීමයි.

ඊට අමතර ව Umm-e-Hani සහ Sadia Iqbal කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ද නායිකා Fatima Sana. ඇය ඔවුන්ගේ ඉනිම අවසන් වෙද්දී පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබා සිටියා.

ඇය පාකිස්තාන ඉනිම අවසන් වෙද්දී Tuba Hassan (නොදැවී 12) සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ලට පන්දු 24ක දී නොදැවුණු ලකුණු 38ක සබඳතාවක් ද සහ Gull Feroza සමඟ එක් වෙමින් 5 වැනි කඩුල්ලට පන්දු 37ක දී ලකුණු 40ක සබඳතාවක් ද එක් කළා.

එහි දී Gull Feroza පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා. ඊට අමතර ව Shawaal Zulfiqar පන්දු 16ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී චමරි අතපත්තු සහ කවිෂා දිල්හාරි කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර සුගන්දිකා කුමාරි ද කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 130 (20.0) Shawaal Zulfiqar 24, Gull Feroza 21, Fatima Sana නොදැවී 47, චමරි අතපත්තු 2/24, චමුදි ප්‍රබෝධා 2/25

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 134 (18.4) ඉමේෂා දුලානි 24, හර්ෂිතා සමරවික්‍රම 36, කවීෂා දිල්හාරි 33, නිලක්ෂිකා සිල්වා නොදැවී 18, Fatima Sana 4/38

තරගයේ වීරයා – Fatima Sana (පාකිස්තානය)

මෙම තරග ජයග්‍රහණයට පෙර පැවැති 1 වැනි අවසන් පූර්ව තරගයේ ඉන්දීය ක්‍රීඩිකාවෝ බංග්ලාදේශය පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටි අතර ඒ අනුව එම කණ්ඩායම් ද්විත්වය අතර පැවැත්වෙන අවසන් මහා තරගය මේ මස 13 වැනිදා Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<