ඉන්දියාවත් පහසු ජයග්‍රහණයකින් තරගාවලිය ආරම්භ කරයි

Women’s T20 Asia Cup 2026

8

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ තායිලන්ත කණ්ඩායම් අතර පැවැති තරගයෙන් ලකුණු 94ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූවා.  

Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (30) පැවැති එම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 159ක් ලබා ගත් අතර ප්‍රතිවාදී තායිලන්ත ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 65ක් පමණයි.  

මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායමේ 25 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකාරිනී Pratika Rawal මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් හිමිකර ගැනීමට සමත් වූවා 

ශ්‍රී ලංකාව පහසු ජයග්‍රහණකින් තරගාවලිය ආරම්භ කරයි

කාසියේ වාසිය ජයග්‍රහණය කළ තායිලන්ත කණ්ඩායමේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Shafali Verma. ඇය පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තා.  

ඊට අමතර ව කෝඩුකාර Pratika Rawal පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා ගන්නවා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 36ක දී ලකුණු 53ක සබඳතාවක් ද ගොඩ නගනවා.  

කඩුලු දවා ගැනීමේ දී Suleeporn Laomi ලකුණු 26කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Sunida Chaturongrattana කඩුලු ද්විත්වයක් ද, Chanida Sutthiruang සහ Thipatcha Putthawong කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි තායිලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ Nannapat Koncharoenkai. ඇය පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නවා.

ඔවුන්ගේ එම ඉනිමේ අනෙක් කිසිදු ක්‍රීඩිකාවක් ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට නොගිය අතර කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පිට දඟ පන්දු යැවූ Deepti Sharma පන්දු 7ක දී එකඳු හෝ ලකුණක් ලබා නොදෙමින් කඩුලු 3ක් දවා ගන්නවා.

ඊට අමතර ව Nandani Sharma ද කඩුලු 3ක් දවා ගත් අතර Shree Charani කඩුලු ද්විත්වයක් ද සහ Kranti Gaud කඩුල්ලක් ද දවා ගත්තා.

3 වැනි තරගය, A කාණ්ඩය (රාත්‍රී), ඉන්දියාව සහ තායිලන්තය අතර Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය.

කාසියේ වාසිය – තායිලන්තය  

  • ඉන්දීය කාන්තා කණ්ඩායම – කඩුලු 9ක් දැවී 159 (20.0) Shafali Verma 64, Pratika Rawal 22, Sunida Chaturongrattana 2/31, Suleeporn Laomi 3/26
  • තායිලන්ත කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 65 (16.1) Nannapat Koncharoenkai 41, Nandani Sharma 3/18, Shree Charani 2/10, Deepti Sharma 3/00

ඉන්දීය කාන්තා කණ්ඩායමට ලකුණු 94ක ජයක්.  

තරගයේ වීරයා – Shafali Verma (ඉන්දියාව)  

තරගාවලියේ බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව අතර පැවැත්වෙන තරගය අද (31) රාත්‍රී Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<