Jaffna Kings ප්‍රසාද ලකුණු පුවරුව වෙනස් කරයි

LPL 2026

3

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (30) නිමා වූ අතර එහි දී Kandy Royals කණ්ඩායමට එරෙහි ව ජයග්‍රහණය කළ Jaffna Kings ක්‍රීඩකයෝ මෙතෙක් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයේ රැඳී සිටි Galle Gallants කණ්ඩායම අභිබවා පළමු ස්ථානයට පිවිසීමට සමත් වුණා.

>>ලහිරු උදාර තරගාවලියේ මංගල ශතකය ලබා ගනී<<

18 වැනි තරගය, Kandy Royals සහ Jaffna Kings පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Jaffna Kings

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Jaffna Kings කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 221ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Kandy Royals කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 200ක් පමණයි. ඒ අනුව Jaffna Kings කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 21ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා.

Jaffna Kings

 

භානුක රාජපක්ෂ (නායක), කමිල් මිෂාර (කඩුලු රකින්නා), අවිශ්ක ප්‍රනාන්දු, Ibrahim Zadran, Towhid Hridoy, දුනිත් වෙල්ලාලගේ, චමිඳු වික්‍රමසිංහ, ට්‍රවීන් මැතිව්, Shakib Al Hasan, මොහොමඩ් ශිරාස්, Zahoor Khan, ඩිල්ශාන් මදුශංක.

 

Kandy Royals

 

වනිඳු හසරංග (නායක), ලහිරු උදාර, කුසල් පෙරේරා (කඩුලු රකින්නා), පවන් සංදේශ්, Moeen Ali, Dale Phillips, දුශාන් හේමන්ත, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, Shaheen Shah Afridi, Zahir Khan, Vijay Shankar

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ආරම්භක පිතිකරුවන් වූ කමිල් මිෂාර සහ අවිශ්ක ප්‍රනාන්දු සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 95ක්. පන්දු 45කින් එක් වූ එම ලකුණු සංඛ්‍යාවට අවිශ්ක ප්‍රනාන්දු පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් එක් කරනවා.

ඔහුගේ දැවී යෑමෙන් පන්දු 6කට පසුව කමිල් මිෂාර ද ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 49ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනාට අමතර ව Jaffna Kings ඉනිමේ වැඩි අවධානයක් දිනා ගත් ක්‍රීඩකයා වෙන්නේ චමිඳු වික්‍රමසිංහ. ඔහු පන්දු 15ක දී හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 43ක් ලබා ගන්නවා.

එම ඉනිමේ දී ඔහු Shakib Al Hasan හා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 23ක දී ලකුණු 59ක් ද එක් කරනවා. Shakib Al Hasan ඉනිම අවසන් වෙද්දී පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් පිටියේ රැඳී සිටි දුනිත් වෙල්ලාලගේ පන්දු 9ක දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී වනිඳු හසරංග සහ Moeen Ali එක් ව කඩුලු 2ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව අසිත ප්‍රනාන්දු සහ Zahir Khan කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටිය පිවිසි Kandy Royals කණ්ඩායම ද සාර්ථක ආරම්භයක් ලබා ගත් නමුත් මැද පෙළත්, පසු පෙළත් අසාර්ථක වීම හේතුවෙන් ඔවුන්ට ප්‍රතිවාදී ඉලක්කය කරා යෑමට හැකි වෙන්නේ නැහැ.

එම ඉනිම ආරම්භ කළ ලහිරු උදාර සහ පවන් සංදේශ් එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 22ක දී ලකුණු 41ක සබඳතාවක් ගොඩ නගන අතර එම සබඳතාව බිඳ වැටෙන්නේ ලහිරු උදාර ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 15ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.

පවන් සංදේශ් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 48ක්. පන්දු 21කින් වාර්තා වූ එම ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුලත් වුණා. ඔහු 2 වැනි කඩුල්ලට කුසල් පෙරේරා (16) හා එක් ව පන්දු 21ක දී ලකුණු 50 සබඳතාවක් ද එක් කරනවා.

ඔවුන් දෙදෙනාගෙන් පසුව Vijay Shankar පන්දු 21ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ද, වනිඳු හසරංග පන්දු 12ක දී හයේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ද සහ Shaheen Shah Afridi පන්දු 14ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දුනිත් වෙල්ලාලගේ සහ Shakib Al Hasan කඩුලු 3ක් බැගින් ද, Zahoor Khan සහ ඩිල්ශාන් මදුශංක කඩුලු ද්විත්වය බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Jaffna Kings – කඩුලු 6ක් දැවී 221 (20.0) කමිල් මිෂාර 49, අවිශ්ක ප්‍රනාන්දු 36, Towhid Hridoy 21, Shakib Al Hasan නොදැවී 22, චමිඳු වික්‍රමසිංහ 43, Moeen Ali 2/38, වනිඳු හසරංග 2/37
  • Kandy Royals – සියලුම දෙනා දැවී 200 (20.0) ලහිරු උදාර 30, පවන් සංදේශ් 48, Shaheen Shah Afridi 24, වනිඳු හසරංග 24, Vijay Shankar 25, ඩිල්ශාන් මදුශංක 2/36, Shakib Al Hasan 3/43, Zahoor Khan 2/32, දුනිත් වෙල්ලාලගේ 3/11

Colombo Kaps කණ්ඩායමට ලකුණු 21ක ජයක්.

තරගයේ වීරයා – චමිඳු වික්‍රමසිංහ (Jaffna Kings)

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (31) විවේකී දිනය වන අතර හෙට (1) Colombo Kaps සහ Galle Gallants අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ම පැවැත්වීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<